By Reporter.lk on (LK time)
ඉරාන යුධ නෞකා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිලිබඳව ශ්‍රී ලංකාවට බලපෑමක් කිරීමට කටයුතු නොකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, අමෙරිකාව පිළිගන්නා අතරම එම ස්ථාවරයට ගරු කරන බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.
ඉරානයට අයත් IRINS Bushehr නෞකාවේ සහ IRIS Dena නෞකාවේ සිට මුදාගත් ඉරාන නාවිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දේශීය නීතිය හා ජාත්‍යන්තර බැදීම් අනුව අවසන් වශයෙන් තීරණය කළ යුතු බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
අමෙරිකාව මේ සම්බන්ධවෙන් ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සංවාදයක නිරත වන බවද රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත.
එහෙත් ඉරානයට අයත් නෞකා දෙකෙන් මුදවා ගත් පිරිස යළි ඉරානයට භාර නොදැන්නැයි අමෙරිකාව මෙරට බලධාරීන්ට දැනුම් දී ඇති බවද මීට පෙර රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණි.
එම නාවිකයන් පිරිස යොදා ගනිමින් සිය ප්‍රතිරූපය ඉහල නංවා ගැනීමට ඉරානයට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව වග බලාගත යුතු බවද රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණි.
මේ අතර මෙරට ආසන්න මුහුදු තීරයේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්වූ ඉරානයේ IRIS Dena නෞකාව නිරායුධව සිටි බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අමෙරිකානු ඉන්දු – පැසිෆික් විධානය නිවේදනය කළේය.





