මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය අවසන්.!

මේ වනවිට සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීය.

දින තුනක් පුරා පැවති වාචික දේශන අවසන් කිරීමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (11) දින මෙම නියෝගය නිකුත් කළේය.

මෙම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් කටයුතු කරයි.

පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට බෙදාදීමට සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදාදීම තුළින් රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණේය.

එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩ සහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments