ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් 5කට ඔස්ට්‍රේලියාවේ රැකවරණය.!

තම මව් රටේ පවතින තත්ත්වයට දැඩි විරෝධය පෑ ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඔස්ට්‍රේලියාව විසින් මානුෂීය වීසා බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇත.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාව විසින් රැකවරණය ලබාදුන් ක්‍රීඩිකාවන් වන්නේ, සාරා සර්බාලි අලිෂා (Zahra Sarbali Alishah), මොනා හමූදි (Mona Hamoudi), ෆාතිමා පසන්දිදේ (Fatemeh Pasandideh), සාරා ගන්බාරි (Zahra Ghanbari), අතේෆේ රමසානිසාදේ (Atefeh Ramezanizadeh)

ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණ සිටි ඉරාන කාන්තා කණ්ඩායම, දකුණු කොරියාවට එරෙහිව පැවති තරගයේදී ඉරාන ජාතික ගීතය ගායනා කිරීමෙන් වැළකී සිටියේය.

එය ඉරාන රජයට හිතවාදී මාධ්‍ය විසින් “අගෞරවනීය ක්‍රියාවක්” ලෙස හඳුන්වනු ලැබූ අතර, ඉන් අනතුරුව ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු විය.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් සඳහා ඔස්ට්‍රේලියාවේ සහාය විවෘතව පවතින නමුත් තම පවුල්වල සාමාජිකයන්ට ඉරානය තුළ එල්ල විය හැකි තර්ජන හේතුවෙන් ඇතැම් ක්‍රීඩිකාවන් යළි සිය රට බලා යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments