මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 කට එරෙහිව මේ වනවිට රතු නිවේදන ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කරයි.
අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,
“2024 වසරේදී අපිට පුළුවන් වුණා රතු නිවේදන හරහා සැකකරුවන් 10 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්න. ඒ වගේම 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා සැකකරුවන් 11 දෙනෙකු ගෙන්වා ගන්න.
ඒ වගේම 2024-2025 වසරේ අපිට උදර්පන නීතිය හරහා සැකකරුවන් 21 දෙනෙක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.
ඒ වගේම මේ වන විටත් රටෙන් බැහැරව සිටින, සැඟව සිටින සහ විදේශගතව සිට ජාලගත අපරාධ මෙහෙයවන අපරාධකරුවන් රාශියක් අපි හඳුනාගෙන තියෙනවා.
ඉන් රතු නිවේදන 95ක් මේ වන විට නිකුත් කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණේ.
විශේෂයෙන් අරාබි එක්සත් රාජධානියේ රජයට සහ අබුඩාබි ජාත්‍යන්තර පොලීසියට, ඩුබායි පොලීසියට සහ තානාපති කාර්යාලවල සහායෙන් මෙම සැකකරුවන් සහ සැකකාරියන් ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.”
