දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බවට දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
පවතින ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද දුම්රිය ස්ථානාධිපති සංගමය මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීම්, උසස්වීම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය බඳවාගැනීමේ පරිපාටියට අදාළ අන්තර් කාලීන විධිවිධාන සකස් කර ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින අතර එය දුම්රිය ස්ථානාධිපතිවරුන් අතර රාජකාරි කාර්යක්ෂමතාවයටත්, සේවකයින්ගේ මානසිකත්වයටත් අහිතකර ලෙස බලපා ඇති බවද සඳහන් කරයි.
රජය විසින් රාජ්‍ය සේවකයින් සඳහා ලබාදෙන ආපදා ණය මුදල රු. 400,000/- ක් දක්වා ඉහල දමා ඇති පසුබිමක, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම මුදල රු. 250,000/- ක් දක්වා අඩු කර ලබා දීමට තීරණය කිරීම බරපතල ගැටලුවක් බවද සඳහන් කරයි.
මෙම ක්‍රියාවලිය රජයේ නිල තීරණයක් සෘජුවම හෑල්ලුවට ලක් කිරීමක් වන අතර දුම්රිය සේවකයින්ට සිදුවන බරපතළ අසාධාරණයක් බැවින් එ සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බවද එම සංගමය සඳහන් කරයි.
