අලුත්ම වෙනසකින් අද සිට පාසල් ආරම්භ කරයි.!

2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් අද (05) දිනයේ සිට ආරම්භ කරයි.

ඒ අනුව රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් අද (05) දින සිට අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් මස (22) වනදා සහ මුස්ලිම් පාසල් සඳහා දෙසැම්බර් මස (26) වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.

මේ අතර, පාසල් වල අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව ගුරුවරයෙකු සතියකට ආවරණය කළ යුතු මුලු කාලපරිච්ඡේද සංඛ්‍යාව 35ක්.

ඉන් කාර්යබද්ධ නිදහස් කිරීම් වලදී හැර ගුරුවරයෙකු අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 28ක් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත විය යුතුය.

අධීක්ෂක ගුරුවරුන්, අවම වශයෙන් සතියකට කාල පරිච්ඡේද 14ක් ඉගැන්වීම් කළ යුතු අතර සහකාර විදුහල්පතිවරුන්, ඉගැන්වීම් කළ යුතු කාල පරිච්ඡේද සංඛ්‍යාව 10ක්.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ද, සතියකට කාල පරිච්ඡේද 8ක් ආවරණය කළ යුතු බවයි.

මේ අතර මුස්ලිම් පාසල් කාල සටහනේ සංශෝධනයක් කර ඇත.

ඒ අනුව සඳුදා දිනවල සුපුරුදු පරිදි උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා මුස්ලිම් පාසල් පැවැත්වෙනු ඇත.

අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා මුස්ලිම් පාසල් අවසන් වන්නේ, පස්වරු 2.15ට. එම දිනවල ආගමික වතාවත් සඳහා දහවල් 12.30 සිට 12.45 දක්වා කාලය ලබාදෙයි.

සිකුරාදා දින පමණක්, ආගමික වතාවත් ඉටු කිරීම සදහා දේවස්ථාන කරා යාම වෙනුවෙන් පෙරවරු 11.15ට පාසල් අවසන් වේ.