By Reporter.lk on (LK time)
විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානය සමඟ පල්ලේකැලේ ක්රීඩාංගණයේ අද (28) පැවැත්වෙන තරගය, ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා මෙහෙයවන අවසන් තරගය ලෙස සැලකේ.
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව තමන් ධුරයෙන් ඉවත් වන බව ජයසූරිය මහතා තරගාවලිය ආරම්භයට පෙර සිටම පැහැදිලි කර තිබූ අතර, එම තීරණය මේ වන තෙක් වෙනස් කර නොමැති බව වාර්තා වේ.
සමුගැනීම සම්බන්ධයෙන් කළ විමසීම්වලදීද ඔහු සඳහන් කර ඇත්තේ, ප්රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කොන්ත්රාත් කාලයක් පැවතිනද එම ධුරයේ රැඳී සිටීමට තමන් අදහස් නොකරන බවයි.
2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගමාලාවේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම් භාරගත් ජයසූරිය මහතා, එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කරනු ලැබීය.
ඔහුගේ ප්රධාන පුහුණුකරු ධුර කාලය තුළ ශ්රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවලින් තරග 74කට සහභාගී වී ඇති අතර, එහිදී ජයග්රහණ 34ක් හිමි කරගෙන පරාජයන් 38කට මුහුණ දී තිබේ. එමෙන්ම තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.
ඒ අනුව, අද පැවැත්වෙන තරගය ජයසූරිය මහතාගේ පුහුණුකාරී ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස සැලකෙන අතර, කණ්ඩායමට ජයග්රහණයකින් සමුගැනීමට හැකිවේද යන්න පිළිබඳ ක්රීඩා ලෝලීන්ගේ අවධානය යොමුවී තිබේ.





