හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලන්ඩන් සංචාරයට අදාළ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස (11) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය (28) නියම කළේය.
සැකකාර සමන් ඒකනායක නිල නොවන සංචාරයකට නිල භාවයක් ලබාදීමට කටයුතු සලස්වා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් (28) දින අධිකරණයේදී හෙළිකරයි.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ,
“ස්වාමීනී මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස හිටපු ජනාධිපති ලේකම් සොමිසාර ඛණ්ඩාර ඒකනායක එහෙම නැත්නම් ඔහුව හඳුන්වන්නේ සමන් ඒකනායක කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්න නීතීපතිවරයා උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව ස්වාමීනී පසුගිය (22) වැනිදා මේ සැකකරු අත්අඩංගුවට ගන්න ඔහුගේ පදිංචි ගෙදරට යනවා. මොහු (22) ඉදන් අතුරුදහන්. මොහු හොඳ පුරුදු අපරාධකාරයෙක් විදිහට තමා ස්වාමීනී හැසිරීලා තියෙන්නේ.
ෆෝන් ඕෆ් කරන් මොහු බිරිඳ සමඟ යන්නේ. ඒ යනකොට අසල්වැසියට මාලුයි, හාල් මැස්සොයි තම්බලා දීලා ගිහින් ගෙදර පූසට කන්න දෙන්න කියලා.”
“ස්වාමීනී මේ සංචාරයට අදාලව මුල් ලේඛන ලැබී තිබෙන්නේ ප්‍රයිවට් ටුවර් ලෙස සටහන් තබමින්. පසුව ඒක ටුවර් කියලා වෙනස් වෙනවා. ඊටත් පස්සේ ඔෆීෂියල් ටුවර් කියලා වෙනස් වෙනවා.
මේ දෙවන සැකකරු තමා මේ සංචාරය නිල සංචාරයක් නෙමේ පුද්ගලික සංචාරයක් කියලා දැන දැනම මුදල් අනුමත කරලා තියෙන්නේ.”
“මේ සැකකරුගේ නම සමන් ඒකනායක ලෙස සඳහන් වුණත් ඔහුගේ නියම නම වන්නේ ඒකනායක මුදියන්සේලාගේ සොමිසාර ඒකනායක. සමන් ඒකනායක කියලා කොටසක් ඔහුගේ නමේ නෑ. එසේ නම් ඔහු සමන් ඒකනායක ලෙස පෙනී සිටින්නේ කොහොම ද කියලත් ප්‍රශ්නයක් මතු වෙනවා.”
