මහජන මුදල් රුපියල් ලක්ෂ 166ක් යොදාගෙන පුද්ගලික විදෙස් සංචාරයක නිරත වීමේ චෝදනාවට ඇප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි නඩුව අද (28) දින යළි කැඳවීමට නියමිතව ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහි මෙම නඩුවේ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට එංගලන්තයේදී ප්රකාශ කිහිපයක් ලබාගෙන ඇත.
නිල සංචාරයක් බව පවසමින් එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයක නිරත වීමෙන් රාජ්ය මුදල් අවභාවිත කළැයි එල්ල කෙරුණු චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ පසුගිය වසරේ අගෝස්තු (22) වනදා අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කර, ඉදිරිපත් වූ කරුණු මත පසුගිය වසරේ අගෝස්තු (26) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එවක කොටුව මහෙස්ත්රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය නියම කළාය.
කෙසේ වෙතත් අගෝස්තු (26) වනදා අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වයන් පිළිබඳ නීතිඥවරුන් සිදුකළ කරුණු දැක්වීම් සලකා බැලූ කොටුව මහෙස්ත්රාත්වරිය ඔහු ඇපමත මුදා හැරීමට නියෝග කළාය.
