අද සිට වැස්ස වැඩි වෙයි.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වී පවතින බවයි.

මේ හේතුවෙන් අද (05) සිට ඉදිරි දිනවලදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර පළාතේත් නුවරඑළිය, මාතලේ, බදුල්ල, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර, යාපනය, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

තවද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට, ගම්පහ, කොළඹ සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇති විය හැකි බවද සඳහන් කරයි. 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.