2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත සියලු නිවාස ව්‍යාපෘති නිසි කාල සීමාව තුළ අවසන් කර ජනතාවට පවරා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම එම ව්‍යාපෘතිවල කටයුතු එක් ආයතනයක් යටතේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” ජාතික නිවාස වැඩසටහන ඇතුළු නිවාස ව්‍යාපෘතිවල සැලසුම් සහ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමඟ අද (02) දින ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 10,200ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිය සහ යුද ගැටුම් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 5000ක වියදමින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ සැලසුම්, වත්මන් තත්ත්වය සහ අවසන් කිරීමට නියමිත කාල රාමු පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සමීපව නිරීක්ෂණය කළේය.
එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ පෙර වසරවලදී වැඩ ආරම්භ කරන ලදුව, මෙතෙක් වැඩ අවසන් කර නොමැති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
