ජනපතිගේ තෛපොංගල් දින සුබ පැතුම් පණිවිඩය.!

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සහ උද්‍යෝගයෙන් සමරන තෛපොංගල් උත්සවය අද (15) දිනට යෙදී ඇත.

සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සහාය වූ හිරු දෙවියන්ටත්, ගව මහේෂාධී සත්වයන්ටත්, සොබාදහමටත් කෘතවේදීත්වය පිරිනැමීම තෛපොංගල් උත්සවයේදී සිදු කෙරේ.

සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවකි.

මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අපි එක්ව උර දී සිටින්නෙමු. ‍

එකී වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී මම සියලු දෙනාගෙන් යළි ඉල්ලා සිටිමි.

එසේම, සොබාදහමට වඩාත් සමීප වීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන මේ මොහොතේ, සොබාදහම සමඟ ගැඹුරින් බැඳුණු තෛපොංගල් උත්සවය අපගේ ජීවිතවලටත්, සමාජයටත් මහඟු අරුතක් එක් කරන බව මෙහිලා සිහිපත් කිරීමට කැමැත්තෙමි.

ඕනෑම අන්ධකාරයකට පසුව ආලෝකයක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු. තිර අදිටනින් සහ එකමුතුව අභියෝග ජය ගනිමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීමට යන ගමනට මෙවර තෛපොංගල් සැමරුම මහඟු ආශිර්වාදයක් වේවා’යි ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සියලු දෙමළ ජනතාවට සෞභාග්‍යවත් සුබ තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments