පාස්කු ප්‍රහාරයට සලේගේ සෘජු සම්බන්ධය හෙළිවෙයි.. සලේට අණ දුන්නේ කවුද.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටියි.

රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුවදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය විමසීමට නඩුව (11) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවුයේය.

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ සබඳතා අනාවරණය වන කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේය.

කටුවාපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට සහරාන්ගේ කණ්ඩායමට ප්‍රහාරයට පෙර තොරතුරු රැස්කිරීමට සුරේෂ් සලේ සෘජුව සම්බන්ධවී ඔහුගේ තොරතුරුකරුවෙකු යොදවා ඇතැයි සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“මෙම බුද්ධි අංශය විසින් පවත්වා ගෙන ගියා තවත් තොරතුරුකරුවෙක් පානදුර ප්‍රදේශයේ. ඔහු මෙම ප්‍රහාරය සිදුවන බවට පෙර දැනුම් දීමක් කලා. එසේ සිදුකර තිබියදී මෙම ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඔහුගෙන් විමසීමක් කලාම ස්වාමීණී ඔහු දැනුම් දීමක් කරනවා මේක අනිවාර්යෙන්ම යුධ හමුදාවේ අවුරුදු 20 ක්වත් පලපුරුද්දක් තියෙන නිලධාරියෙක් මෙම ප්‍රහාරයේ පිටුපස ඉන්නවා කියලා.”

“යුධ හමුදාවේ උසස් නිලධාරීන් දුරකතනයෙන් දීර්ඝ වශයෙන් මොහුගෙන් ප්‍රශ්න කරලා, 2019 අප්‍රේල් මාසේ (26) වනදා මේ තොරතුරුකරු හමුදා බුද්ධි අංශය මගින්ම අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන ඔහුව භාරදෙනවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට. භාරදීලා ඔහුගේ ගෙදර නඩත්තු කටයුතු යුධ හමුදා බුද්ධි අංශය මගින් කරගෙන ගියා. ඒ වගේම ඔහුගේ පුතාට යුධ හමුදා බුද්ධි බලකායේ පරිඝනක අංශයේ රැකියාවක් දෙන්නත් සැලසුම් කලා ස්වාමිණි.”

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“බුද්ධි නිලධාරියෙකුට ඔත්තුකරුවෙක් නඩත්තු කිරීමේ හැකියාවක් නීතිය අනුව ඇති නමුත් අපරාධයේ සැකකරුවක් බවට පත්වීමෙන් පසුව එලෙස නඩත්තු කර ඇති බවට තොරතුරු තිබෙනවාද.?

එහිදී විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“සැක කරුවෙකු ලෙස පත්වූ පසුවත් එලෙස නඩත්තු කිරීම් සිදුකර ඇති බවයි”

“සැකකරුගේ මෙහෙයවීමෙන් තමයි ඒ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. පසුව මේ සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කලාට පස්සේ, ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාසයට භාරදිලා හිටපු සැකකරු ගලධාරී හෝටලයට ගෙනල්ලා ඔහුට ස්තූති කරලා ඔහුට දැනුම් දීමක් කරනවා මේ කටයුත්තෙන් ඉවත් වෙන්න කියලා.”

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“එලෙස ස්තූති කර ඇත්තේ කුමකටද.?”

විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ඔහුව ත්‍රස්ත්‍රවාදී විමර්ශන කණ්ඩායමට යොමු කරලා, බුද්ධි අංශ නිලධාරියෙකු ඔහු වෙත යවලා මේ විමර්ශන සිදුවන ආකාරය පිලිබදව ඔහුගෙන් තොරතුරු ලබාගත්තා. ඇතුලේ කට්ටිය කොහොම සී.අයි.ඩී එකට විමර්ශන කරන්න ඕනෙද. ටී.අයි.ඩී එක කොහොමද විමර්ශන කරන්නේ සහ විදේශ රටවල් වලින් ආපු අය කොහොමද ප්‍රශ්න කරන්නේ. ඒ පිලිබඳව තොරතුරු සියල්ල එගොල්ලෝ ලබාගත්තා ස්වාමීණී. බුද්ධි අංශ නිලධාරියෙක් යවලා.”

සාරා ජෙස්මින් නැමැත්තිය මියගිය බවක් DNA පරීක්ෂණ දෙකකදී අනාවරණය වී නොතිබූ පසුබිමක තුන්වන වරටත් DNA පරීක්ෂණයක් කිරීමට සුරේෂ් සලේ විමර්ශන නිලධාරින්ට බලපෑම් කර ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීය.

“මෙම ප්‍රහාරයෙන් පස්සේ 2019 අප්‍රේල් (26) වනදා ස්වාමීණී සයින්දමරුදු බෝම්බ පිපිරීමක් සිද්ධ වුනා. එතන ඉන්නවා සාරා ජෙස්මින් කියලා කාන්තාවක්. එම කාන්තාවගේ අද වෙනකම් මෘත දේහයක් හොයාගෙන නැහැ. නමුත් මෙම මරාගෙන මැරෙන බෝමබකාරියගේ ඩී.එන්.ඒ වාර්තාවක් තුන්වන අවස්ථාවේදී තමයි හොයාගෙන තියෙන්නේ. එම තුන්වන අවස්ථාවට එම පරීක්ෂණය සිදු කිරීමට විමර්ශන නිලධාරීන්ට විවිධාකාර බලපෑම් සිදුකර තිබෙන්නේ මේ සැකකරු.”

“හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ විමර්ශන නිලධාරි නිශාන්ත සොයිසා ප්‍රකාශ දී ඇති අන්දමට ආරක්ෂක කවුන්සලය තුලත් මේ බලපෑම සිදුකරලා තියෙනවා.”

විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමිණි අවසානයේදී සී.අයි.ඩී හිටපු පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහත්තයා කියනවා මේක දිගින් දිගටම කරන්න කියලා සුරේෂ් සලේ කියන නිලධාරියා බලපෑම් කරන කොට ඒක කරන්නේ නැති වුනාම මොහු ආරක්ෂක කවුන්සිලයට ගෙනල්ලා ජනාධිපති හරහා ඔහුට බලපෑම් කලා. අවසානයේ ඔහුට දුන්න පීඩනය නිසා හෘදායාබාධයක් ඇතිවුනා කියලා ඔහු ප්‍රකාශ ලබාදීලා තියෙනවා.”

එහිදී කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“එවක ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති බලපෑම කුමක්ද.?”

විමර්ශන නිලධාරියා අධිකරණය හමුවේ සඳහන් කළේ,

“ස්වාමිණි තුන්වන වතාවටත් අම්පාර ප්‍රදේශයේ තියෙන මිනිවල හාරලා එකේ සාම්පල අරගෙන ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදු කරන්න කියලා කරපු බලපෑම තමයි. සැකකරු දිගින් දිගටම බුද්ධි සමලෝචන සාකච්ඡාවේදී මේ පිලිබදව දැනුම් දීලා මේක ක්‍රියාත්මක කරන්නේ නැති වුනාම තමයි ආරක්ෂක කවුන්සිලයට කැදවලා ජනාධිපතිතුමාට මේක කියලා තියෙන්නේ. මේ සී.අයි.ඩී එකේ කට්ටිය මේක කරන්නේ නැහැ. මේක ඕනේ කමින්ම මග හරිනවා කියලා.”

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ,

“තුන්වන සැකකරුට අදාලව ඉදිරිපත් කරන කරුණු පාස්කු ප්‍රහාරයට අදාළව සෘජුව සම්බන්ධ කරුණු. රාජකාරි පැහැර හැරීම ආදී අවශේෂ කරුණු නෙවෙයි. එ නිසා පෙරදින නියෝගය යම් ක්‍රියාත්මක වීමක් පෙනී යනවා.”

“සාක්ෂි ප්‍රමාණවත්ද නැද්ද කියලා අද දින ඉදිරිපත් කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තා සහ ඉදිරියේදී සිදුකරන විමර්ශන අනුව තීරණය කල යුතුයි. නමුත් නියෝගය ක්‍රියාත්මක වී ඇති බවට අධිකරණය නිරීක්ෂණය වෙනවා.”

“ඒ සාක්ෂිමය කරුණු අවශ්‍ය අවස්ථාවේදී සලකා බලනවා. විමර්ශකයා විසින් තුන්වන සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කල කරුණු තුනේ එක කරුණක් ආරක්ෂක කවුන්සිලයට අදාල කරුනක්.”

“එහිදි බලන්න ඕනේ ඒ නියෝගය දීලා තියෙන්නේ ජනාධිපතිවරයා නම් ඒක ආරක්ෂක මණ්ඩලයෙන් ජනාධිපතිවරයාට ව්‍යවස්ථාපිතව කරන්න බලයක් තියෙන කාරණයක්ද.? එහෙම තියෙනවා නම් අපරාධ කරුණක් ලෙස සලකන්න බැහැ.”

“අපරාධ වගකීමක් පැවරෙන්නේ විමර්ශනය අඩපන කිරීමේ චේතනාවෙන් කරානම් පමණයි. එහෙම නැතුව විමර්ශනයේ යම් යම් පියවර සදහා ලබාදීපු උපදේශයක් නම් එනයින්ම අපරාධ වගකීමක් පවරන්න බැහැ.”

“ඒ ගැන තියෙන කරුණු තවදුරටත් විමර්ශනය කරන්න ඕනේ. ආරක්ෂක මන්ඩලයේදී සිදුවු සිදුවීම අපරාධ වගකීමක් පැවරීය හැකි කාරණාවක් ද කියලා පරීක්ෂා කර බලා ඒ ගැන තියෙන සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන්න.”

“එහෙම නම් කාටද අපරාධ වගකීම පැවරෙන්නේ, කොහෙමද පැවරෙන්නේ කියලත් වාර්තා කරන්න. එම විමර්ශන වල ප්‍රගතිය මීළග දිනයේදී වාර්තා කරන්න.”

ඒ අනුව නඩුව වැඩිදුර විමර්ශන වාර්තා සඳහා මාර්තු (25) කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments