වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහරදී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධයෙන් නූරිය පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
එම දරුවාට පහරදෙන බවට නූරිය පොලිස් ස්ථානයට ඊයේ (02) රාත්‍රියේ පණිවුඩයක් ලැබීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී පිරිමි ළමයා නිවසක් අසල වැටී සිට ඇත.
අනතුරුව එම දරුවා රෝහලට ඇතුළත් කළද, ඒ වනවිටත් දරුවා මියගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.
මෙම මරණය සැකකටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම මරණයට සැකපිට දරුවාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
