රටේ ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කිරීම ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමාට වගකීමක් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
රූපවාහිනී ආයතන වලට තාවකාලික බලපත්‍ර ලබාදී තිබෙන බවත් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න ඔවුන් කොන්දේසි වලින් බැදී සිටින බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“ජනමාධ්‍ය ඇමති ලෙස මට වගකිමක් තියනවා ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහතික කරන එක. ඒ වගේම මේ රූපවාහිනී ආයතනවලට තාවකාලික බලපත්‍ර ලෙස තමයි ලබා දීලා තිබෙන්නෙ.
ඒ අය කොන්දේසි වලින් බැඳෙනවා විශේෂයෙන් ජාතික ආරක්ෂාව සෞඛ්‍ය වැනි කාරණාවලදී ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න. මේක මගේ පැත්තෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් අසත්‍ය විකෘති අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ අවස්ථා කීපයක් මම දැක්කා.
උදාහරණයක් විදිහට එක්තරා රූපවාහණී නාලිකාවක් ඉමියුනොග්ලොබියුලීන් සම්බන්ධව ඉදිරිපත් කරපු ප්‍රවෘත්තිය. ඒක ඉතාම සාවද්‍ය ප්‍රවෘත්තියක්. ඒ වගේම හිතාමතා කරපු විකෘතියක්.
ඉමියුනොග්ලොබියුලීන් ගෙන්වීමේ වැරදි ක්‍රමවේදය නිසා කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට නඩු වැටිලා තියනවා. හැබැයි එහෙමයි කියලා දැන් ගෙන්වන ඉමියුනොග්ලොබියුලීන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාට නඩු වැටීමේ සිද්ධියට සම්බන්ධ කිරිමේ අරමුණ මොකක්ද.
ඒ කියන්නේ මේ ඖෂධය සම්බන්ධයෙන් ජනතාවගේ බලවත් අවිශ්වාසයක් ගොඩනගන එක. එහෙම දේවල් ජනමාධ්‍යයට කරන්න අයිතියක් නෑ. ඒ ගොල්ල සත්‍ය තොරතුරු, විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධව ඉදිරිපත් කරන්න බැඳලා ඉන්නවා.
මම සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයා. සෞඛ්‍ය සම්බන්ධව කවුරුහරි වැරදි තොරතුරක් ඉදිරිපත් කරලා මේ සෞඛ්‍ය පද්ධතිය ගැන, රජයේ රෝහල් පද්ධතිය ගැන පරීක්ෂණ ගැන සෞඛ්‍ය ක්‍රමවේදයන් ගැන කවුරුහරි විකෘති සහගතව අසත්‍ය ප්‍රවෘත්ති පළ කරලා ජනතාව මේ විද්‍යානුකූළ ක්‍රමවේදක් සහිත සෞඛ්‍ය පද්ධතියකින් අයින් කරන්න කටයුතු කරනවා නම්, ඒකට එරෙහිව මතයක් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා. ඒක තමයි මම කිව්වේ.
ඒ නිසා ඔබතුමා කලබල වෙන්න එපා. ඒ වැරැද්ද කරපු මාධ්‍ය ආයතනයම ඒක නිවරදි කළා. මේක තියෙන්නේ ආණ්ඩුව විවේචනය කිරීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබතුමාල ඕන තරම් විවේචනය කරනවනේ.
නමුත් ජනතාවගේ විශේෂයෙන් සෞඛ්‍යයට බලපාන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්න එපාය, ඒ වගේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයට උඩ ගෙඩි දෙන්න එපාය කියලා ඉල්ලා සිටිනවා.”
