පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් මගීන් 68 දෙනෙකු රැගත් බස් රථයක් ධාවනය කර මගීන් දෙදෙනකු මරණයට පත් කර තවත් මගීන් 66 දෙනෙකුගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් එම බස් රථයේ රියැදුරා ජනවාරි (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පොලිස් නිලධාරීන්ගේ අවවාද සහ මහ ජනතාවගේ ඉල්ලීම් නොතකමින් මහාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළු මගීන් 68 දෙනෙකු රැගත් පෞද්ගලික බස් රථය, ධාවනය කර බස් රථය සැඩ පහරට ගසාගෙන යාමට සලස්වා එම මගීන් පිරිස අනතුරක හෙළීමට අදාළ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කළේය.
මෙම පෞද්ගලික බස් රථ රියැදුරාට ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය මගින් කියැවෙන මිනී මැරුම් චෝදනා සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය මගින් කියැවෙන මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කර ඇත.
මිනී මැරුම් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ සැකකාර රියැදුරාට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.
