ඉතාලිය – ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර ගිවිසුම.!

ඉතාලිය – ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ද්විපාර්ශ්වික ගිවිසුම අලුත්කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඊට අදාළ ගිවිසුමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති සත්‍ය රොද්‍රිගෝ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබූ අතර විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය ලේකම් මාරියා ත්‍රිපොඩි ඉතාලි රජය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි.

මෙම රියදුරු බලපත්‍ර ගිවිසුම මගින් දෙරටේ ස්ථිර පදිංචිය ලබාගත් පුද්ගලයින්ට වලංගු රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමට පහසුකම් සපයයි.

පසුගිය 2021 වසරේදී මෙම ගිවිසුම කල් ඉකුත්වූ අතර, එතැන් සිටි දෙරටේ මෝටර් රථ ප්‍රවාහන බලධාරීන් ගිවිසුම අලුත් කිරීම සඳහා පැවති සාකච්ඡා ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමෙන් පසු මෙම අත්සන් තැබීම සිදුකර ඇත.