ඊයේ (04) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසූවේ හය ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ ඉංග්‍රීසි මොඩියුලයේ සිදුව ඇති වරද සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලැබී ඇති බැවින් එම වරද සිදු කළ අයට එරෙහිව ඉදිරියේදී නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යවරයා.
“ඉංග්‍රීසි මොඩියුලයේ බරපතළ වරදක් සිදුව ඇති බව පිළිගන්නවා. මේ මොඩියුලයට ඇතුළත් කර ඇත්තේ කිසිසේත් ඊට ඇතුළත් නොවිය යුතු දෙයක්. එම බරපතළ වරද සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පැහැදිලිව නිරීක්ෂණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂණයක් සිදු වෙනවා. එම පරීක්ෂණ නිවැරදිව සිදු වෙනවා. මේ වරද කළේ කුමන අරමුණින්ද, කවුද කළේ, කොහොමද කළේ, ඇයි කළේ යන කරුණු සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සොයනවා.
එම වාර්තාව ද ලැබුණු පසු අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දිගටම පවත්වාගෙන යෑමේ සාමූහික වගකීම රජය ගන්නවා.”
