By Reporter.lk on (LK time)
මේ වනවිට මැදපෙරදිග කලාපය තුළ ඇති වී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් මහජනතාව විසින් ඉන්ධන අනිසි ලෙස ගබඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රට තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින නිසා මහජනතාවට ඒ සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථාව මඟින් දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එහෙත් ඇතැම් පාර්ශවයන් සංවිධානාත්මකව ගැලුම් හෝ වෙනත් බාහිර බහාලුම් මඟින් ඉන්ධන රැස්කිරීම් සිදුකරන බැවින් එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම්දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාකර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද සඳහන් කරයි.
එනිසා අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන, ඉන්ධන සම්බන්ධව සමාජ මාධ්‍යජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පලකරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව සොයා බලා ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බවද සඳහන් කරයි.





