පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බරපතල හානි සිදුවූ අතර ඒ හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා මහජනතාවට දැඩි දුෂ්කරතාට මුහුණ දීමට සිදුවිය.
එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා අලුත් කිරීම සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් අදාළ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය.
ඒ අනුව මාර්ග ආරක්ෂාවට හෝ මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් ඇති නොවීමේ අරමුණින්, 2025 නොවැම්බර් (25) සිට 2025 දෙසැම්බර් (24) දක්වා වූ කාලය තුළ වලංගු කාලය ඉක්මවීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය, එසේ කල් ඉකුත් වීමට නියමිත දිනයේ සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
අංක 2467/52 දරන 2025 දෙසැම්බර් (17) දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
(203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන අනුව, 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
