රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැන තීරණයක්.!

විදේශයන්හිදී නිකුත් කර ඇති රියදුරු බලපත්‍ර මත පදනම්ව මෙරටදී තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය මඟින් සිදු කරන ලද අතර, 2025-08-03 දින සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථාපිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා කවුළුවක් මඟින් එම කාර්යය සිදු කිරීම ආරම්භ කරනු ලැබ ඇත.

(203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදනු ලැබ ඇති 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග මඟින් එලෙස තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අය කරනු ලබන ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

කෙසේ වුවද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කවුළුවක් විවෘත කර අවශ්‍ය පහසුකම් සැපයීමේදී ඒ සඳහා අය කරනු ලබන රුපියල් 2,000/- ක් වූ ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින්, සපයන සේවාවන්ට සරිලන පරිදි ගාස්තු යාවත්කාලීන කරමින් ඒ සම්බන්ධයෙන් වන නියෝග සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව, සංශෝධිත ගාස්තු හඳුන්වා දීම සඳහා වන නියෝග අංක 2463/04 දරන 2025-11-17 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එම නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.