මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ආසියානු සංවර්ධන බැංකුව මෑතකදී අපිට සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව අනුව මධ්‍යම කඳුකරය අතීතයේ පැවති ආකාරයත්, වර්තමානයේ තිබෙන ආකාරයත් මේ අන්දමට ඉදිරියට පැවතියහොත් අනාගතයේ ඇතිවන තත්ත්වය පිළිබදවත් අපිට වාර්තා කර තිබෙනවා.
අනාගතයේද පස් සෝදා ගොස් ගල් විතරක් මතුවන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ බොහෝ ජලාශ රොන් මඩවලින් පිරෙන තත්ත්වයක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මධ්‍ය කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පනතක් ඇති කිරීමටත් ඒ යටතේ අධිකාරියක් පිහිටුවීමටත් අපි තීරණය කර තිබෙනවා.
ඒ වගේම මේ මධ්‍යම කඳුකරයේ සියල්ල ඒකාබද්ධ කරගත් නව අධිකාරියක් ඇති කරනවා. ඒ අනුව මේ මධ්‍යම කඳුකරය මුළුමනින්ම සුවපත් කිරීමේ වැඩසටහනකට අපි කඩිනමින් අවතීර්ණ විය යුතුයි කියා අපි තීරණය කර තිබෙනවා.
ඒ වගේම මේ ව්‍යසනය හමුවේ ජන ජීවිතය යළි ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික වටපිටාව සහ යටිතල පහසුකම් නිර්මාණය කර දීම වෙනුවෙන් අපි ඉතා වෙහෙසක් දරා කටයුතු කරනවා. අපි ඒ වෙනුවෙන් ප්‍රජාශක්ති වැඩසටහන යටතේ රුපියල් මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම ඉතා වැදගත්.
පළාත් මට්ටමින් කුඩා මාර්ග සංවර්ධනය සදහා පමණක් මෙම වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මිලියන 24,000ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා සඳහා අපි මිලියන 8,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.
පළාත් පාලන ආයතන තමන් උපයා ගන්නා ආදායමෙන් යම් ප්‍රමාණයක් මෙම පාරවල් සකස් කර ගැනීම සඳහා වෙන් කර තිබෙනවා. ඒ නිසා මාර්ගවල ප්‍රතිසංස්කරණ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”
