අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා පැවසුවේ, දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම දියත් කළ බවයි.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව අංශ හතක් ආවරණය වන පරිදි ප්‍රමුඛතා ලැයිස්තුවක් මේ වෙනුවෙන් සකස් කර තිබේ.
මේ සඳහා ඉදිරි මාස 04ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක පමණ වියදමක් දැරීමට සිදුවනු ඇති බව මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව ඉදිරි මාස හතර තුළ අමෙරිකානු ඩොලර් මිලියන 35ක් රැස් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
රජය සහන සහ ප්‍රතිසාධන කටයුතු මෙහෙයවන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඔවුන්ගේ සහාය ලබා දෙන බව ඔහු පැවසීය.
එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහයෝගය ඇතිව මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 9.5ක් ලැබී ඇති බවය.
පාර්ශවකරුවන් සමඟ සම්බන්ධීකරණ වැඩසටහනක් සමඟින් ඉදිරි මාස කිහිපය තුළ තවත් අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රැස්කර ගැනීමට ඔවුන් උත්සාහ කරන බව ඔහු සඳහන් කළේය.
