මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත් වලින් එකක් වන දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව, හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් රට පුරා ඇති විය.
එමඟින්, ජීවිත හානි, ප්‍රජාවන් අවතැන් වීම, ජීවනෝපායන් විනාශ වීම සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් විනාශ වීම මෙන්ම කෘෂිකාර්මික ඉඩම් ද විනාශයට පත්විය.
එම තත්ත්වය යටතේ රට යළි ගොඩ නැගීම සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු වන අතර, ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ සිට දිගු කාලීන මැදිහත් වීම දක්වා පුළුල් රාමුවක් තුළ පියවර ගත යුතුව ඇත.
එමෙන්ම ද්වීපාර්ශ්වික සහ බහු පාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන්, ණය ලබා දෙන ආයතන සහ ලාභ අරමුණු කර නොගත් සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව දැනටමත් ක්ෂණික මැදිහත්වීම් ආරම්භ කර ඇත.
ඒ අනුව හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීමට එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 92ත් 112ත් අතර මුළු මුදලක් සලසා ගැනීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
