මෙරට ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළ යාමක් නිරීක්ෂණය වූ බවත් එය තරමක අහිතකර තත්ත්වයක් වන බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි.
මෙම තත්ත්වය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි.
ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බවද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි.
වායු ගුණාත්මකභාවය පහළ යාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්ම ගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි.
මධ්‍යම පරිසර අධිකාරිය රටේ වායු තත්ත්ව දර්ශකය, එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන බවද ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කරයි.
