By Reporter.lk on (LK time)
ග්‍රීක බැඳුම්කර නඩුවේ එකඟතා මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගෙවිය යුතු රුපියල් කෝටි 184කට අධික මුදල ගෙවා ඇත්දැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහ බැංකුවෙන් විමසා ඇත.
අදාළ මුදල ගෙවා නොමැති නම්, පනතේ විධි විධානවලට අනුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
2025 වසරේ දෙසැම්බර් (10) වනදා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කොන්දේසි සහිතව නිදහස් කිරීමටත්, සෙසු විත්තිකරුවන් තුන්දෙනා කොන්දේසි රහිතව නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය නියෝග කළේය.
කබ්රාල් නිදහස් කළ කොන්දේසිය අනුව මෙම ගනුදෙනුවෙන් සිදුවූ රුපියල් කෝටි 184කට අධික අලාභය මාස තුනක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කළ යුතුයි.
ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, සහකාර අධිපතිවරුන් වන දොන් වසන්ත ආනන්ද සිල්වා සහ එම්.ඒ. කරුණාරත්න යන අයට විරුද්ධව එම නඩුව ගොනු කළේය.





