By Reporter.lk on (LK time)
ජනතාවට සුවපහසු, ආරක්ෂිත, කාර්යක්ෂම සහ අඛණ්ඩතාවෙන් යුතු ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජය මේ වන විට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
නිසි ප්‍රමිතියෙන් යුතු බස් රථ අලුතින් ධාවනයට එක් කිරීමට සහ පැරණි බස් රථ ක්‍රමානුකූලව ප්‍රවාහන පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා වූ සැලසුම් රජය මේ වනවිට සකස් කරමින් තිබෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි බඳවාගත් නවක රියදුරු මහතුන් 199ක් සහ කොන්දොස්තර මහතුන් 342ක් වෙනුවෙන් පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (10) දින අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,
“ශ්‍රී ලංගමය සමඟ අපේ රටේ ජනතාවට ගමන් බිමන් යාමෙන් ඔබ්බට ගිය සංස්කෘතිකමය බැඳීමක් තිබෙනවා. අද රියදුරු සහ කොන්දොස්තර මහතුන් ලෙස ඔබ ඇතුළත් වන්නේ එවැනි ඉතිහාසයක් සහ මිනිසුන් සමඟ ඓන්ද්‍රීය සබඳතාවක් පවත්වාගෙන ගිය සේවාවකට.
ඒ වගේම මම විශ්වාස කරනවා ශ්‍රී ලංගමය මේ තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබිය යුතුයි. එය තාක්ෂණයෙන් පමණක් නොවෙයි එම බස් රථවල වැඩ කරන රියදුරු සහ කොන්දොස්තර මහතුන් ජනතාව සමග ඉතා සමීපව, ළෙංගතුව සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතමින් කටයුතු කරන අලුත් තැනකට ඔසවා තැබිය යුතුයි. ඒ නිසා මම හිතනව ඊට ඇතුළත් වන ඔබට ශ්‍රී ලංගමය තුළට නව සංස්කෘතියක් ගෙන යාමට හැකි වෙයි කියලා.
යහපත් ඉතිහාසයක් තිබුණු ශ්‍රී ලංගමය පසුකාලීනව දේශපාලන පත්වීම් සහ විවිධ අයථා ගනුදෙනු හේතු කර ගෙන අභාවයට පත් වෙමින් පැවතුණා. යම් දේශපාලන අධිකාරින්හි බලය ත්‍රාඩ ලෙස පැතිර වීම සඳහා මෙම ආයතන උපයෝගී කරගත්තා. ඒ නිසා ලංගමය පිළිබඳ ජනතාව තුළ තිබූ අධ්‍යාත්මික බැඳීම පලුදු කිරීමට මේ කැත පන්නයේ දේශපාලන සංස්කෘතිය හේතු වුණා කියා මම විශ්වාස කරනවා.
ඒ වගේම නූතන ලෝකයේ ඇති වූ තාක්ෂණික වෙනස්කම් වලට අනුරූප වන පරිදි තාක්ෂණික වෙනස්කම් කර ගැනීමට නොහැකි වීමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ජනතාව සහ ලංගමය අතර සබඳතා බැඳ වැටීමට හේතු වුණා.
රටට ශක්තිමත් පොදු ප්‍රවාහන සේවාවක් අවශ්‍ය බවට අද අපි රජයක් ලෙස දැඩි ප්රතිපත්තියක සිටිනවා.
ඊට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. අදත් අපේ රටේ පවුලක ප්‍රවාහන සේවය සඳහා දරන වියදම වැඩියි. ඒ වගේම පොදු ප්‍රවාහන සේවයෙන් ජනතාවට කාර්යක්ෂම සහ අඛණ්ඩ සේවාවක් ලබා ගැනීමට හැකි වේ දැයි යන්න පිළිබඳ සැකයක් තිබෙනවා.
ඒ සැකය නිසා තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා තමන් විසින්ම සපුරා ගැනීමට ජනතාව පෞද්ගලිකව යතුරු පැදියක්, කුඩා මෝටර් රථයක් මිලදී ගැනීමට උත්සාහ කරනවා. ඒ හේතුවෙන් තමන්ට ලැබෙන ආදායමෙන් වැඩි පංගුවක් මේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා වැය කිරීමට සිදුව තිබෙනවා.
අවසානයේ බලන කළ ඔවුන් වැඩ කර තිබෙන්නේ වැඩට යාමට වියදම සොයා ගැනීමටයි. ඒ අනුව ජනතාව ප්‍රවාහන අවශ්‍යතා සඳහා සිය ආදායමෙන් දරන වැය බර වැඩියි. අපි එය අඩු කළ යුතුයි. ඒ නිසා ජනතාවට බරක් නොවන ප්‍රවාහන සේවාවක් අපි ඇති කළ යුතුයි.
ඒ වගේම, අපි මෝටර් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කරනවා. ඒ වෙනුවෙන් ආනයන වියදමෙන් විශාල පිරිවැයක් දරනවා. මම විශ්වාස කරනවා පොදු ප්‍රවාහනය ශක්තිමත්ව දියුණු කළහොත් සැලකිය යුතු ප්‍රමාණයකින් අපේ වාහන ආනයන සඳහා යන වියදම් අඩුකරගත හැකියි කියලා. එය ආර්ථික වශයෙන් ඉතා වැදගත් වෙනවා.
ඒ වගේම පරිසරයට විශාල වශයෙන් සිදු වන වායු දූෂණයට මේ වාහනවලින් නිකුත් කරන විෂ සහිත දුම් හේතුවී තිබෙනවා. පරිසරයට මුදා හරින විෂ දුම් ප්‍රමාණ අඩු කර ගැනීම පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. අපේ අනාගත උපනූපන් දරු පරපුර වෙනුවෙන් මේ පරිසරය ආරක්ෂා කර දිය යුතුයි. ඒ නිසා විෂ දුමෙන් පරිසරයට සිදුවන හානිය අඩු කිරීමට එය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා පරිසරය පැත්තෙන් බැලුවත් මෙය වැදගත් සාධකයක්.
අද නාගරික තදබදය ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. කොපමණ මිනිස් පැය ප්‍රමාණයක් පාරට වැය වෙනවද.? එය ආර්ථික වශයෙන් ගණනය කළහොත් ආර්ථිකයට විශාල හානියක් සිදු වෙන බව පෙනෙනවා. ඒ නිසා මාර්ග තදබදය අඩු කිරීමේදීත් පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කිරීම ඉතා වැදගත්. මේ අන්දමට ශක්තිමත් පොදු ප්‍රවාහන පද්ධතියක් දියුණු කිරීම අපේ අපේක්ෂාවයි.
පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන බවට සංකල්ප හැදුවට වැඩක් නැහැ ජනතාවට නිසි පරිදි එම සේවාව ලැබිය යුතුයි. ඒ වගේම සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි. ඒ නිසා දැනටමත් අපි බස් රථ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් තිබෙනවා. ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් අවශ්‍යයි.
ඒ නිසා ඕන ඕන විදියට බස් දාගෙන, හිරකරගෙන ගියොත් අපි පොදු ප්‍රවාහන සේවාවක් පිළිබඳ කෙතරම් උත්සාහ දැරුවත් වැඩක් නැහැ ජනතාව එයින් ඈත් වෙනවා. ඒ නිසා අපි ජාතික ප්‍රතිපත්තියක් හදනවා කවර වර්ගයේ බස් රථද පාරේ ධාවනය කරන්න පුළුවන් කියලා. එය එකවිට කරන්න බැහැ. සමස්ත බස් සංචිතයම ඉවත් කර අලුත් බස් රථ සංචිතයක් එකවිට ඇතුළත් කළ හැකි වත්කමක් අපිට නැහැ.
එසේනම් අලුතින් එක් කරන බස් රථ ප්‍රමිතියෙන් යුත් බස් රථ විය යුතු අතරම ක්‍රමානුකූලව පැරණි බස් රථ ප්‍රවාහන පද්ධතියෙන් ඉවතට යා යුතුයි. වසර කිහිපයක් මෙය සැලසුම් සහගතව කළහොත් සමස්ත බස් රථ සංචිතයම නව ගුණාත්මක බස් රථ සංචිතයක් බවට පරිවර්තනය කළ හැකියි. එය අපේ ප්‍රධාන ඉලක්කයක්.
ඒ වගේම බස් රථ මොනතරම් සුවපහසු වුණත් වැඩක් නැහැ ඒ බස් රථය ධාවනය කරන රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාගේ හැසිරීම යහපත් නැත්නම්. මොකද බස් රථයේ ගමන් කරන සියලු ජනතාවගේ ජීවිත ඔහුගේ දෑත මතයි පවතින්නේ. ඒ නිසා ඕන කෙනෙකුට, ඕන විදියට බස් රථයක් ධාවනය කිරීමට රජයක් ලෙස අපි ඉඩ දිය යුතු නැහැ. ඇතැම් බස් රථ සමාගම්වල අයිතිකරුවන් යැයි කියා ගන්නා අය ඊට එරෙහිව යම් ප්‍රකාශ කර තිබුණා. එහෙත් අපි මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
සෑම පුරවැසියෙක්ම බස් රථයට නගින්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසයකින්. එසේ නම් ජීවිත පිළිබඳ අනාරක්ෂිත තත්ත්වයක් මතුවන්නේ නම් කිසිවෙකු තමන්ගේ දරුවා පොදු ප්‍රවාහනයට භාර දෙන්නේ නැහැ. පොදු ප්‍රවාහන පද්ධතිය පිළිබඳ විශ්වාසය ඇති කරන්න නම් දැනට ඇති වී තිබෙන තත්ත්වය වෙනස් කළ යුතුයි. විෂ මත්ද්‍රව්‍ය භාවිත කර කිසිසේත් බස් රථයක් ධාවනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය නීති, පරීක්ෂා කිරීම් ආදී සියල්ල සිදු කරනවා. ඒ නිසා රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ හැසිරීම ගුණාත්මක තත්ත්වයට ගෙන ආ යුතුයි.”





