පාස්කු විමර්ශනයේ තුන්වැනි සැකකරු සුරේෂ් සලේ.!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, පාස්කු ඉරු දින ප්‍රහාරයන්ට අදාළ විමර්ශනයේ තුන් වැනි සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු සිද්ධියට අදාළව 2026ක් වූ පෙබරවාරි මස (25) වන දින අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බවත් මේ වනවිට සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව අධිකරණයට කරුණු දැක්වීම සඳහා මෝසමක් ගොනු කරමින් නඩුව අද කැඳවිය.

සැකකරුවෙක් ලෙස නම් කිරීමට සාක්ෂි තිබේදැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර එහිදී විමසා සිටි අතර මෙතෙක් කරන ලද විමර්ශන අනුව සාක්ෂි අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිද්ධියට අදාළව නැගෙනහිර පළාතේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් සැකකරුවන් ලෙස නම් කර ඇත.

පාස්කු ප්‍රහාර මාලාවට පෙර සිදුවූ, වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සංවේදී තොරතුරු සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකරනු ලබයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments