By Reporter.lk on (LK time)
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හමුවේ රට තුළ පවතින තෙල් සංචිත පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
රට තුළ දැනට දින 33කට ප්‍රමාණවත් ඩීසල් තොග සහ දින 27කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග සුරක්ෂිතව පවතින බැවින් පෝලිම් ඇති කරගනිමින් කලබලයට පත් නොවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
එළඹෙන (07) සහ (08) දිනවලදී තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක නැවක් ළඟා වීමට නියමිත බැවින් පෙට්‍රල් සංචිතය දින 40ක් දක්වා ඉහළ යනු ඇති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
ගුවන් යානා ඉන්ධන එනම් ජෙට් ඒ-වන් ඉන්ධන දින 49කට ප්‍රමාණවත් පරිදි පවතින බවත් පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දින 44කට අවශ්‍ය බොරතෙල් තොග පවතින බවත් එක් නැවක් මේ වන විටත් එමින් පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඉදිරි සති කිහිපය සඳහා අවශ්‍ය නැව් පෙළගස්වා ඇති බවත් ලංකාවේ ගබඩා ධාරිතාව සීමිත බැවින් නැව් පැමිණෙන කාලසටහනට අනුව ගබඩා හිස් කරමින් නව තොග පුරවා ගැනීම විද්‍යාත්මකව සිදු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
තවද මැදපෙරදිග යුද්ධය තවදුරටත් වර්ධනය වුවහොත් එය ගෝලීය ප්‍රශ්නයක් වුවද, පවතින තත්ත්වය යටතේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ප්‍රායෝගිකව අර්බුදයක් ඇති නොවන බවට රජය සහතික වන බවත් පවතින තත්ත්වය ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳව හෙට (04) උදෑසන වනවිට වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය පාලනය කිරීම සඳහා ඊට සම්බන්ධ සියලු පාර්ශවයන් ඉතා ඉක්මනින්ම සාමකාමී ලෝකයක් වෙනුවෙන් අවශ්‍ය කැපවීම සහ මඟපෙන්වීම සිදුකළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
මැදපෙරදිග සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.





