By Reporter.lk on (LK time)
මේ වනවිට මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා ඇත.
අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් මෙලෙස අවලංගු කර ඇත.
අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැලසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම, ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි සහ කෙටි පණිවිඩ වෙත සිය අවධානය යොමු කිරීම සිදු කරන ලෙසත්, නැතිනම් www.airport.lk යන කටුනායක ගුවන් තොටුපොළ වෙබ් අඩවිය වෙත පිවිස ගුවන් ගමන් විස්තර පිළිබද යාවත්කාලීන වන ලෙසත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් කර ඇත.
පවතින මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර වී යාමට නොහැකි වී ඇති විදේශීය ගුවන් මගීන් සඳහා මෙරට රැදී සිටීමට තවත් දින 07ක වීසා සහන කාලයක් ආගමන විගමන පාළක ජනරාල්වරයා විසින් ලබාදී ඇත.
එහෙත් ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය බලා පිටත්ව යන සහ එම රටවල සිට පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි.





