මේ වන විට පොලිස් නිලධාරීන් 100ක් ම අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරින් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙන බවත් ඔවුන් සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් ඒවා තමාට සෘජුවම දැනුම්දෙන ලෙසත් තමාගේ ජංගම දුරකතනය පැය 24ම මහජනතාවට විවෘත බවද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ,

“මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අස්සක් මුල්ලක් නෑර මේ ජාවාරම්කාරයෝ පිරිලා ඉන්නවා. සෙසු රාජ්‍ය ආයතන වලත් හිටියා. පොලීසියෙත් හිටියා. පෙරේදාත් ග්‍රෑම් 700ක් එක්ක පොලීසියේ කෙනෙක් ගත්තා.

පොලිස් නිලධාරියෙක් කියලා නීතිය අඩුවෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔවුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පොලිස් නිලධාරින් 100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා.

සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ තවත් නිලධාරින් කොටසක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් කොටසක් මේ ව්‍යාපාරයෙත් ඉන්නවා. ඒත් එක්කම ඒවාට ඇබ්බැහි වෙලත් ඉන්නවා.

පොලීසියේ යම් කොටසක් හිටියා. ඒ කොටස මත්ද්‍රව්‍ය පරීක්ෂණය කරලා සේවයෙන් පහකරන්න අවශ්‍ය කටයුතු කරනවා. පොලීසියේ අය කොච්චර අඩු වුණත්, අපි ඒ කාර්ය කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පොලීසියේ ඉන්න බැහැ.

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෝ පොලිසියේ ඉන්න බැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ඉන්න නිලධාරින් ඉන්නවා නම් ඒ තොරතුරු මට ලබා දෙන්න. මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කොයි තරම් දුරට සම්බන්ධ වෙලා තියෙනවාද කියන එක දන්නවා.”

මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල පැවති වැඩසටහනකට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments