දරුවන්ට සහය වෙන්න ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්.!

1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින්, හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සඳහා ගුරුවරුන් වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන ඇත.

ගුරුවරුන් විසින් ළමයින් වෙත කළ යුතු සහ නොකළ යුතු දෑ යන කාණ්ඩ දෙකක් ඔස්සේ එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

පාසල් ළමුන් නිල ඇඳුම් සපත්තු සහ වෙනත් පාසල් උපකරණ නොමැතිව පැමිණිය ද ළමුන් වෙනස් කොට නොසැලකීම, ළමුන් සඳහා සවන් දීම, පාසල තුළ ආරක්ෂාව හා රැකවරණය ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීම, ළමුන්ට අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු ලබා දීම, ළමුන් සඳහා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කිරීම ආදිය කළයුතු දේ ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්.

එමෙන්ම කම්පන සහගත තත්ත්ව ළමුන්ට නැවත ආවර්ජනය නොකරවීම, ආපදාවලට මුහුණ දුන් ළමුන් වෙනස්නොකොට සැලකීම, ආපදාවට ලක්වූ ළමුන් පිළිබඳව ගුරු විවේකාගාර තුළ හෝ පාසලේ වෙනත් ස්ථානවල සාකච්ඡා නොකිරීම, ඉටුකළ නොහැකි පොරොන්දු ළමුන් සඳහා ලබා නොදීම වැනි දෑ, නොකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ගුරුවරුන්ට දැනුම් දී ඇත.