ලංකාවේ පළමු වතාවට පෙබරවාරි මාසයේදී 1750ක දෛනික වැටුපක්.!

ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ඒ අනුව ලංකාවේ පළමු වතාවට මෙම පෙබරවාරි මාසයේදී වතු ජනතාවට රුපියල් 1750ක දෛනික වැටුපක් හිමිවන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. වතු ආශ්‍රිතව වැඩ කරන ජනතාවට මෙම මාසයේ වැටුප පෙබරවාරි (10) වනදා ලැබෙන විට දිනකට රුපියල් 1750ක වැටුපක් ලැබෙනවා.

අපි තවත් එය වැඩි කිරීමට උත්සාහ කළ යුතුයි. නමුත් ලංකාවේ මෙය සිදු වන්නේ පළමු වතාවටයි. මෙම රුපියල් 400ක දෛනික වැටුප් වැඩවීමෙන් රුපියල් 200ක් ආණ්ඩුව දරා ගැනීමට තීරණය කළා.

මොකද ඒ ආයතන, සමාගම්, මුළුමනින්ම බිඳ වට්ටවා අපිට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා අපිත් දායකත්වයක් ලබා දෙමින් එම කටයුතු සිදු කළා. එය තමයි ආරම්භක පියවර. වතු ආරක්ෂා කර ගනිමින් එහි වැඩ කරන ජනතාවට අවශ්‍ය සහන ලබා දීම අපේ අපේක්ෂාව බවට පත් වුණා.”

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.