ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු (23) වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (26) දින නියෝග කළේය.
මෙම නඩුව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් අතර මෙම නඩුව විභාගයට ගන්නා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් මාර්තු (23) වනදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා නිවේදනය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබුණේය.
කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව නිෂ්ප්‍රභ කරමින් අදාළ නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙසට අදාළ නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කළේය.
