ඉබ්බාගමුවෙන් කෝටි 28ක් මතුවෙයි.. සැකකරුවෙක් අත්අඩංගුවට.!

රුපියල් කෝටි 28කට අධික මුදලක් හා වාහන දෙකක් සමඟ අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (19) දින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර නීති විරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැකකරන රුපියල් විසි අට කෝටි තිස්තුන් ලක්ෂයක (රුපියල් 283,300,000.00) මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මොහු විසින් මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉහත මුදල් එකතු කර ඇති බවට හා අදාල වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිළදී ගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (20) දින කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.