හොරකම් කරලා, නාස්ති කරලා රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
එම අභියෝග මැඩගෙන හොරකමින්, දූෂණයෙන් තොරව රටෙහි සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යාම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවද අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.
අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,
“හොරකම් කරලා, නාස්ති කරලා රට විනාශ කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා ඇතිවෙච්ච ආර්ථික අපරාධවල ශාපයට රටටම මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනවා.
අපි ඒ අභියෝග මැඩගෙන, හොරකමින්, දූෂණයෙන් තොරව සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යනවා.
කොළඹ නගරයේ ඉතාමත්ම කාර්ය බහුල ව්‍යාපාරික ස්ථාන, ජනාධිපති ලේකම් කාර්යාලය, හෝටල් විශාල සංඛ්‍යාවක් මේ ආශ්‍රිතව පිහිටා තිබීම නිසා මේ ස්ථානය සැලකිය යුතු මාර්ග තදබදයක් පැවති ස්ථානයක්.
එම රථවාහන තදබදයට පිළියම් ලෙස ගුවන් පාලම් තුනක් ඉදිකරන්න මීට වසර කිහිපයකට කලින් සැළසුම් කරලා තිබෙනවා. එයින් ගුවන් පාලම් දෙකක වැඩ නිමකර තිබෙනවා.
මේ ගුවන් පාලම 2022 වසරේදී වැඩ නිම කරන්න සැලසුම් කර තිබූ එකක්. නමුත් ආර්ථික අර්බුදය සහ වෙනත් කාරණා නිසා මෙම පාලමේ ඉදිකිරීම් බොහෝ කාලයක් ප්‍රමාද වුණා.
පොලිස්පතිතුමා සමඟ අපි සිදුකරපු ක්‍ෂේත්‍ර පරීක්‍ෂණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිල නිවාස සම්බන්ධයෙන් පැවති ගැටළු වලට කඩිනම් විසඳුම් ලබාගෙන ඉදිකිරීම් වේගවත් කරන්න හැකි වුණා.
රුපියල් මිලියන 2,700 කින් මීට අවුරුදු තුනකට කලින් ඉදිකරන්න තිබූ ගුවන් පාලමට ඉදිකිරීම් ප්‍රමාදය නිසා අමතරව තවත් රුපියල් බිලියනයක් වැය කරන්න සිදුවුණා.”
‘බාලදක්‍ෂ මාවත’ ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.
