2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව නඩුව ගොනු කර ඇත.
ඒ අනුව සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද (19) දින කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගෙන ඇත.
අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටි බැංකු හා මූල්‍ය සමාගම්වල සාක්ෂිකරුවන් හතර දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇති අතර අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස (16) වනදා දක්වා කල් තබා ඇත.
