ආණ්ඩුව රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්රය ඉලක්කගතව තිබූ බැවින් රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
එවැනි සමාජීය පරිවර්තන සිදුකිරීමේදී සුළුතර පිරිසකගේ ප්රතිවිරෝධතා මතුවිය හැකි බවත්, කෙසේ වුවද ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
හය වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තාවකාලිකව අත්හිටුවීමෙන් අසාධාරණයට ලක්වූ සිසුන් හට ඉක්මනින්ම සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවත් වෙනසක් කරා අධ්‍යාපනය රැගෙන යන මෙම ගමනේදී ඒ සඳහා ජනතාවගේ පිළිගැනීම අතිශය වැදගත් බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් (16) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මේ අතර රජය විසින් හඳුන්වා දෙනු ලැබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව හය ශ්‍රේණියේ විෂය මලා වෙනස් කිරීම වසරකින් කල් දැමීමට ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පසුගියදා (13) සඳහන් කළේය.
ප්‍රශ්නගත හය වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අදාළව සිදු කරන ලද පරීක්ෂණ අනුව හෙළිදරව් වූ කරුණු පදනම් කර ගනිමින් ජාතික අධ්‍යාපන ආයතනයේ පාලන සභාව විසින් ඒ සඳහා වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනු ලබන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
