අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්.. ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්න.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම පද්ධතිය නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) සවස 5.30ත් රාත්‍රී 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝදුරට හැකියාව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිකුත් කර ඇති රතු නිවේදනය අනුව, නැගෙනහිර පළාතේ අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි මෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය.

මුලතිව්, වව්නියාව, කිලිනොච්චි, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලයට විටින් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී 100- 150ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යාපනය, මන්නාරම මෙන්ම ඌව පළාතේ මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලට සහ මධ්‍යම පළාතේ නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි හෝ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

ඒ අනුව ගොඩබිම් ප්‍රදේශ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.