එජාප – සජබ දීගයට යෝජනා 6ක්.. නායකයින් මුහුණට මුහුණ.!

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමග සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී (07) මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර තිබෙන කටයුතු ඉදිරියට ගෙන යාමට එකමුතුව කටයුතු කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එකඟතාවය පල කර ඇත.

පළමු පියවර හැටියට එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් අතර ඒකාබද්ධ වැඩපිළිවෙලකට එකඟවීමට තීරණය කර ඇත.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සහ සමගි ජන බලවේගයෙන් ප්‍රකාශ වූ කරුණු සැළකිල්ලට ගනිමින් පහත යෝජනා කිහිපය ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබීය.

1. ජාතික වශයෙන් පළාත් පාලන ආයතනවල, නගර සභා, ප්‍රාදේශීය සභාවල එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගය අතර සිටින පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගේ වැඩ කටයුතු වලදී වැඩ කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩසටහන් කමිටුවක් පක්ෂ දෙකෙන් පත්කිරීම.

2. කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඒකාබද්ධ වැඩසටහන් 3 කට කරුණු ඉදිරිපත් කිරීම.

3. දැනට වෙනත් දේශපාලන පක්ෂ සමග කටයුතු කරන අතර, එම පක්ෂ වලටද මේ කරුණු පැහැදිළි කිරීමටත්, එමෙන්ම ඒ ගැන සාකච්ඡා කිරීමට පක්ෂ දෙකේ නායකයන්ගේ අනුමැතියෙන් කමිටුවක් පත් කිරීම.

4. මෙම වැඩපිළිවෙලට එකඟ වූ පසු එක්සත් ජාතික පක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක මුණ ගැසීමට ක්‍රියා කිරීම.

5. ඉන්පසුව පක්ෂ දෙකෙහි කෘත්‍යාධිකාරි මණ්ඩල ඒකාබද්ධව මුණ ගැසී සාකච්ඡා කිරීම.

6. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් දේශපාලන පක්ෂ ප්‍රමුඛ සන්ධාන අතර ගිවිසුම් පිළිබඳවත්, අප සම්බන්ධ වී කටයුතු කරන පක්ෂත්, සමගි ජන බලවේගය සමග එකමුතු වී කටයුතු කරන අතර, එම සියලු පක්ෂ දැනුවත් කිරීම.