ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරඹයි.!

මුදල් අමාත්‍යාංශය පවසන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව, ජර්මානු ෆෙඩරල් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹ තිබෙන බවයි.

මෙම ගිවිසුම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවද මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

ඒ අනුව නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් පසු සහ ද්විපාර්ශ්වික සාකච්ඡා මඟින්, ජර්මානු ෆෙඩරල් ජනරජය හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා ශ්‍රී ලංකාවට ණය සහන පියවරක් ලබා දීමට එකඟ වී තිබේ.

මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ජර්මානු ෆෙඩරල් ජනරජය වෙනුවෙන් සාරා හැසල්බාර්ත් මහත්මිය, මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන් තැබූහ.

මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරනු ලබන ඇස්තමේන්තුගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 188ක් පමණ වන බව සඳහන් වේ.

මෙම ගිවිසුම හරහා ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, ජර්මානු රජය විසින් දිගු කාලයක් පුරා ලබා දෙන අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකා රජය කෘතඥතාව ද පළ කර ඇත.