අද (06) දිනයේ සිට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (06) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම විශේෂ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ සහ පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහයෝගීතාවයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.
තනි පිඟානකට හොදි, එළවළු. මාළු, මස් යනාදිය බෙදූ ආහාර පිඟානක් වෙනුවට: බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර, යනාදිය වෙන වෙනම බෙදා තිබෙන ප්‍රියමනාප පිඟානක (Customise Plate) අදාළ ආහාර වේල රෝගියාට පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංගය වේ.
එවැනි ආකාරයට සැකසූ ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් හා ප්‍රියතාවක් ඇති වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
මේ වනවිට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය හැකි නවීන පහසුකම් වලින් සපිරි මුළුතැන්ගෙයක් ස්ථාපිත කර ඇති අතර එයද අද දිනයේදී විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත කරයි.
රෝහලේ මුළුතැන්ගෙය, කුස්සිය හෙවත් ‘kitchen’ යන නාමය වෙනුවට ආහාරපාන දෙපාර්තමේන්තුව (Food and Beverages Department) ලෙස මෙහි පරිවර්තනය කර ඇත. නවීන ආකාරයට ආහාර පාන සැකසීම සහ පිළිගැන්වීමට ඒ සදහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබාදී ඇත.
මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
