සීනි බදු වංචාව: “මේක ඉතින් මම කරපු දෙයක් නෙමෙයි” – අනුර යාපා

 සීනි බදු වංචාව: “මේක ඉතින් මම කරපු දෙයක් නෙමෙයි” – අනුර යාපා

පසුගිය සතියේ පැවැති රාජ්‍ය ගිණුම්කාරක සභාවේදී එහි සාමාජිකයන් කිහිපදෙනකුම එම සභාවේ සභාපතිවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් මෙම සීනි ගෙන්වීම සම්බන්ධ සිදුවීමේ මූල්‍ය වාර්තාව ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර තිබිණ.

ඒ අනුව අනුර ප්‍රියදර්ශන මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට කතාකොට මේ පිළිබඳව විමසමින් සඳහන් කර සිටියේ මෙම බද්ද වෙනස් කළ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරුන් අදාළ ලිපිගොනු ඉල්ලා සිටින බැවින් ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන ලෙසටය.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ඊට අදාළ ලිපිගොනු පසුගිය සතියේ ගිණුම්කාරක සභාව වෙත එවා තිබූ අතර, එහි පැහැදිලිවම අදාළ සීනි ආනයනය කිරීමේදී බදු අඩු කිරීම හරහා රුපියල් බිලියන 15.9 අති දැවැන්ත පාඩුවක් ආණ්ඩුවට සිදුව ඇති බව තහවුරු කර තිබිණ.

ඒ සමඟම විපක්ෂය මේ පිළිබඳව රට ඇතුළේ දැඩි විරෝධයක් රැගෙන යමින් කියා සිටියේ බැඳුම්කර වංචාව පවා ඉක්මවා යන ආකාරයේ මහා මුදල් කන්දරාවක් වංචා කිරීමට මේ හරහා ආණ්ඩුව කටයුතු කර ඇතැයි කියාය. එපමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවන්වලද පසුගිය සතියේ ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබුණේ සිදුව ඇති මේ මහා මූල්‍ය වංචාවය.

ඒ අනුව පසුගිය සතියේදී ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාට කතාකොට මෙම සිදුවීම පිළිබඳව ඔහුගෙන් විමසා සිටින්නට පියවර ගෙන තිබිණ.

එහිද තමන්ට කතා කළ සියලු දෙනාටම සිනාසෙමින් අනුර යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ එය තමන් කළ දෙයක් නොවන බවත්, මන්ත්‍රිවරුන්ගේ ඉල්ලීම අනුව අදාළ ලිපිගොනු ගිණුම්කාරක සභාවට එවන ලෙසට මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම්දීම පමණක් තමන් සිදුකළ බවත්ය.

“මේක ඉතින් මම කරපු දෙයක් නෙමෙයි. කමිටි එකේ සාමාජිකයො ඔක්කොම මගෙන් ඉල්ලුව මේ ගැන රිපෝට් එකක් දෙන්න කියල. ඉතින් මම මුදල් අමාත්‍යාංශයට කතා කරල කිව්ව මේ සීනිවල බදු අඩු කිරීම ගැන වාර්තාවක් එවන්න කියල. මම කළේ ඒක විතරයි. ඉතින් ඔය වාර්තාව හැදුවෙ මම නෙමෙයිනෙ. ඒකෙ තියෙන දේවල් ඔක්කොම හැදුවෙ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්. ඉතින් ඒකෙ තියෙන දේවල්වලට මම මොනව කරන්නද” යනුවෙන් සඳහන් කරමින් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අනුර යාපා මන්ත්‍රීවරයා කළකිරීමකින් පසුවන බව වාර්තා වේ. තමන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු මෙන්ම පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට වැඩ කටයුතු කළද තමන්ට ඇමැති ධූරයක් නොලැබීම හේතුවෙන් ඔහු කළකිරීමකට පත් ව ඇතැයි වාර්තා වේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *