අඟහරු ගවේෂණ අභ්‍යාවකාශ යානා කක්ෂ ගතවේ.

 අඟහරු ගවේෂණ අභ්‍යාවකාශ යානා කක්ෂ ගතවේ.

පෘථිවියේ කලාප තුනක සිට රටවල් තුනක් අඟහරු ග්‍රහයා වෙත යැවු අභ්‍යාවකාශ යානා තුනෙන් දෙකක් අඟහරුගේ කක්ෂය තුළට ඇතුළු වී තිබේ.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය යැවු අභ්‍යාවකාශ යානා දෙකකි. 

අමෙරිකානු අභ්‍යාවකාශ යානය මෙම මස අවසන් දිනවලදී අඟහරු වෙත ළඟාවීමට නියමිත බව නාසා ආයතනය පවසයි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පසුගිය වසරේ ජූලි මාසයේ ජපානයේ සිට දියත් කෙරුණු ‘හෝප් ‘ අභ්‍යාවකාශ යානය පසුගිය අඟහරුවාදා අඟහරුගේ කක්ෂය වෙතට ඇතුල් විය.

නමුත්, හෝප් යානය අඟහරු වෙත ගොඩබැසීමක් සිදුනොකරන අතර, ඒ වටා එක් අඟහරු වර්ෂයක් නැතිනම් දින 687 ක් පරිභ්‍රමණයවීමට නියමිතය.

මෙම පරිභ්‍රමණයේදී අඟහරුගේ වායු ගෝලය ගවේෂණය කරන යානය රැස්කරන දත්ත පෘථිවියට යොමුකරනු ලබන්නේ, සැප්තැම්බර් මසදිය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිය අඟහරු මෙහෙයුම සමරනු ලැබුවේ, රටම ඉතා රතු පැහැයෙන් ආලෝක ගන්වමිනි.

ඒ අනුව ලොව අඟහරු ගවේෂණය කළ පස්වැනි රට වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

මීට පෙර අමෙරිකා එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, යුරෝපය සහ ඉන්දියාව අඟහරු මෙහෙයුම් සිදුකරනු ලැබුවේය.

පසුගිය වසරේ ජුලි 23 වැනිදා චීනය විසින් අඟහරු ගවේෂණය සඳහා දියත් කළ ටියෙන්වෙන් – 1 යානය ද පසුගිය බදදා අඟහරුගේ කක්ෂයට ඇතුළු විය.

නමුත් මෙම යානය අඟහරුට ගොඩබස්සවනු ලබන්නේ, මාස 3 ක් අඟහරු අධ්‍යයනය කිරීමකින් පසුව මැයි මාසයේදීය. 

චීනය විසින් අඟහරුවෙත යවනු ලැබු ටියෙන්වෙන් – 1 යානය විසින් අඟහරුගේ කක්ක්ෂයට පිවිසිමේ විඩියෝ දර්ශන ද චීන අභ්‍යාවකාශ ඒජන්සිය ඊයේ (12) නිකුත් කළේය. 

කිලෝග්‍රෑම් 250 ක ආසන්න බරකින් යුත් රෝවරය පැයට කිලෝමිටර් 20,000 කට ආසන්න වේගයකින් අඟහරු වෙත ගොඩබැස්වීම චීනය මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගය වේ. 

එය අඟහරුගේ යූටෝපියා තැනිතලාවට මැයි මාසය වන විටදි ගොඩබානු ඇති. 

රෝවරය විසින් අඟහරුගේ භූමියේ ස්වභාවය, පාෂාණ නිරීක්ෂණය හා ජලය තිබේද යන්න නිරීක්ෂණය කරන අතර රෝවරය දින 90ක කාලයක් අඟහරු මත සිට තොරතුරු ලබාගැනිමට නියමිතය.

මේ අතර අමෙරිකාවේ නාසා ආයතනය විසින් අඟහරු ගවේෂණය සඳහා පසුගිය වසරේ ජුලි 30 දියත් කළ පර්සිවියරන්ස් යානය ලබන 18 වැනිදා අඟහරු අඟහරු වෙත ගොඩබැස්වීමට නියමිතව තිබේ.

මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ අඟහරු මත ජීවය තිබේදැයි සාක්ෂි සොයා බැලීම සඳහායි. 

අඟහරුගේ ජෙස්රෝ අවාටය මත ගොඩබස්වන මෙය අමෙරිකාව විසින් ග්‍රහලෝකයක් මත ගොඩබාන විශාලතම අධි තාක්ෂණික යානය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

කුඩා ප්‍රමාණයේ SUV රථයකට සමාන අමෙරිකානු රෝවරයේ බර මෙට්‍රික් ටොන් එකකි. 

කැමරා 23 ක් සහ ශබ්ද පටිගත කළ හැකි මයික්‍රෝෆෝන දෙකකින් සමත්විත මෙම රෝවරය අඟහරු මත පළමුවරට ශබ්ද පටිගත කිරීම ද සිදුකරනු ලබයි. 

එමෙන්ම ප්‍රථම වතාවට පෘථිවිටෙන් පිට වෙනත් ග්‍රහලොවකදී දී ඩ්‍රෝන යානයක් පියාසර කරවීමේ අමෙරිකානු ප්‍රයත්නයක් ද මෙම මෙහෙයුමට සමගාමීව සිදුකරයි. 

එම ඩ්‍රෝන යානයේ බර කිලෝග්‍රෑම් 1.8 ක් වේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *