පාඨලී සහ විමල් ගැන ජානිපෙ හිටපු ලේකම් කියන කතාව..

 පාඨලී සහ විමල් ගැන ජානිපෙ හිටපු ලේකම් කියන කතාව..

පාඨලී චම්පික රණවක සහ විමල් වීරවංශ යන මහත්වරුන්ගේ එදා සහ අද දේශපාලන හැසිරීම පිළිබඳව;

ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම්වරයකු වන ප්‍රියංජිත් විතාරණ මහතා තම ෆේස් බුක් ගිණුමේ මේ ආකාරයේ සටහනක් තබා තිබේ.

“පසුගියදා පැවති ප්‍රසිද්ධ රූපවාහිනී සංවාදයකදී විමල් පාඨළීට බර අවි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

විමල් එහිදී කියා තිබුණේ පාඨළී යනු රටක් ජාතියක් ගැන හැගීමක් නැති ඕනිම අසූච්චි වලක ලගින දේශපාලන පිංගුත්තරයෙක් බවයි.

ඔහු සමඟ සන්ධානයක් නොව ඔහු සිටින පැත්තවත් බැලීමට තමා අකමැති බවයි.

2010 – 2015 මහින්ද රාජපක්ෂ රජය සමයේ ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ අතර අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවැත්වුණා.

ඒ අන් කිසිවක් සදහා නොව මහින්ද රාජපක්ෂ රජයේ ඇතැම් අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්ව සටන් කිරීම වෙනුවෙන්.

පාඨළී,රතන හිමි,උදය ගම්මන්පිල,අනුරුද්ධ ප්‍රදීප්,නිශාන්ත වර්ණසිංහ විටින් විට ජාතික හෙළ උරුමය වෙනුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වූණා.

මමත්,විමල්,වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක ජානීපෙ වෙනුවෙන් එම සාකච්ඡාවලට සහභාගි වුණා.

නමුත් එම සාකච්ඡා එක දිගට ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ අතර බොහෝ විට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡා කිහිපයකට පමණක් සීමා වුණා.

විමල් වෙනුවට අවස්ථා කිහිපයකදීම මා පක්ෂ නායක රැස්වීම් වලටද සහභාගී වී තිබෙනවා.එහිදී චම්පිකද හමුවී තිබෙනවා.

අදද චම්පික සමඟ හෝ විමල් සමඟ මගේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නැත.

කෙසේ නමුත් මා දුටු විමල් හා චම්පික ගැන කීමට මා කිසි තැනක පැකිලෙන්නේ නැත.

විමල් යනු රාජපක්ෂවරු ඉදිරියේ යටත් වීම තෝරා ගත් අයෙකි.ඒ යටත්වීමේ ප්‍රතිපලයක් ලෙස ජානීපෙ දෙකඩවී ගියා.චම්පික යනු යටත් නොවී අභියෝගය තෝරා ගත් අයෙක්.

ඔහුගේ යටත් නොවීමේ ගුණය නිසා ජාතික හෙළ උරුමයද දෙකඩවී ගියා.රාජපක්ෂවරු ඉදිරියේ යටත්වීම තෝරාගත් තවත් ගම්මන්පිල කෙනෙක් විමල්ට හමුවූයේ ඒ හරහායි.

එදා අප ජාතික හෙළ උරුමය සමග කළ සාකච්ඡාද ඒවාට පදනම් වුවා විය හැකිය.

විමල් ඒ ගැන ජානීපෙ දේශපාලන මණ්ඩලය අවස්ථා ගණනාවකදී දැනුවත් කළ බව මතකයි.

එදා ජානීපෙ හා ජාතික හෙළ උරුමය අතර සම්බන්ධය ඉදිරියට ගෙන යෑමට නොහැකි වුවද අද විමල්ගේ ජානීපෙය හා ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය ගසට පොත්ත මෙන් හාවී අපූරුව ගමනක් යමින් සිටී.

ඒ ඔවුන් දෙදෙනා අතර වන රාජපක්ෂවරුන්ට යටත් වීමේ පොදු සාධකය නිසා විය යුතුයයි.

පසුගියදා පැවති රූපවාහිනී සංවාදයේදී නිවේදකයාට එවැනි ප්‍රශ්නයක් ඇසීමට හිතුනේ පාඨළී,විමල්,ගම්මන්පිල,බන්දුල එක් කදවුරකට ගොනු වෙන බවට වූ සංවාදයක් සමාජය තුළ පැවතුණු නිසා විය යුතුයි.

ඇත්තටම එවන් සංවාදයක් සමාජය තුළ නිර්මාණය වී තිබිණි.එන ඕනිම කෙනෙකුට පැමිණිය හැකි ලෙස දොරවල්වලට ඇරලා තැබිය යුතුය යන සංවාදයක් විපක්ෂය තුළ පැවතුණු බව රහසක් නොවේ.

විමල් සහ සජිත් අතර එකඟතාවයක්

‘කෙසේ නමුත් විමල් හා චම්පික අතර එකඟතාවයක් නිර්මාණය වීමට ඇති ඉඩ ඉතා අඩුය.

විමල් හා සජිත් අතර එකඟතාවයක් නිර්මාණය වීමට ඇති ඉඩ මා කිසිසේත් බැහැර කරන්නේ නැත.

ඊට සජිත් හා විමල් දොරවල් විවෘත කර තබා ගත්තේ සජිත් ජනාධිපති අපේක්ෂකයා වීමටත් අවුරුදු ගණනකට පෙර සිටයි.

විමල් දිනක් ජානීපෙ දේශපාලන මණ්ඩලයේදී කීවේ සජිත්ට ජනාධිපති වීමට හැකි තත්වයක් ඇති වන්නේ නම් සජිත්ට තම සහය දෙන බව සජිත්ට දන්වා ඇති බවයි.

ඊට අවශ්‍ය ඥාති පදනමක් ඔවුන් අතර තිබේ.එසේ කියා විමල් සජිත්ගෙන් උදව්වක් ඉල්ලා තිබිණි. ඒ උදව්ව වෙනුවෙන් විමල් දුන් පොරොන්දුව එයයි.

එය සජිත්ටත් අමතකව ඇතැයි මා නොසිතමි.විමල් එදා ජානීපෙ දේශපාලන මණ්ඩලයට කිවේ සජිත් බැලන්ස් කිරීම වෙනුවෙන් එසේ කියූ බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ගේ සහයට විමල් ආවේ නැත.ඊට හේතුව සජිත් පරදින බව ඕනෑම පොඩි ළමයෙකු පවා දැනගෙන සිටීමයි.

නමුත් එදා විමල් සජිත්ට දුන් පොරොන්දුව ඉටු කිරීමට කාලය පැමිණෙන බව අපගේ හැගීමයි.

තවමත් ඒ සදහා අවශ්‍ය තත්වය නිර්මාණය වී නොමැත.

නමුත් ඒ සදහා කරුණු පෙළගැසෙමින් තිබේ.ඊට බලපාන ප්‍රධාන කරුණු දෙකක් ඇත.පළමු වැන්න නම් මහින්දගේ ඇවෑමෙන් බැසිල් පොදුජන පෙරමුණේ නායකයා වීමයි.

දෙවැන්න විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් නැවත ඉදිරිපත් වීමයි.

බැසිල්ගේ ආගමනය විමල්ට මාරාන්තික එකක් බව විමල් දනී.

මන්ද බැසිල්ගේ ගමන වැලැක්වීමට විමල් තරම් උත්සාහ කළ අයෙක් විපක්ෂයේවත් නැති තරම්ය.නමුත් අවසානයේ විමල් ෆේල් වු අතර බැසිල් විභාගය සමත් විය.

විමල්ගේ ගැට සූත්තර සියල්ල බැසිල් දන්නා නිසා විමල්ට තවදුරටත් බැසිල් සමග ඩෙගා නැටීමට බැරිය.එම නිසා විමල්ලා දැන් මේ ආණ්ඩුව තුළ වැඩිපුර නිහඩව සිටීම තෝරාගෙන ඇත.

දැන් විමල් ඉස්සර වගේ නෙවෙයි.කිසි දෙයක් ගැන වැඩිපුර කතා කරන්නේ නැත.ඉඳහිට බදුර්දීන්ට හෝ අසාද් සාලිට ෂොට් එකක් දීම වෙනුවෙන් එළියට එන අතර ආපු සැනින් අතුරුදහන් වේ.

එසේම විමල් ජනාධිපති ගෝඨාභය ඉතා හොඳින් හදුනන අතර විමල් ගෝඨාභයට පණ බයය.

ඊළඟට විමල්ගේ ෆයිල් ඇත්තේ රාජපක්ෂලා ළගය. විමල් තම කදවුරට හතුරු වෙන්නේ යම් මොහොතේද එවෙලේ පටන් විමල්ගේ ෆයිල් එකින් එක එළියට පැමිණෙනු ඇත.

එම නිසා තවත් වසර හතරක් මෙම සිරගත ජීවිතය ගත කරන්නට විමල් තීරණය කරනවාට කිසි සැකයක් නැත.

විමල්ට චේන්ජ් එකක් ගන්නට වෙන්නේ සජිත් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වනවා නම් පමණි.පාඨළී අපේක්ෂකයා වනවා නම් එයද කිරීමට නොහැකිය.

එම නිසා විමල් මේ කදවුරේ සිටම පාඨළී දුර්වල කිරීමේ මෙහෙයුම අරඹා ඇත.එමගින් විමල් එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු මරා ගනි.

එනම් තමා දැනට සිටින රාජපක්ෂ කදවුරේ ප්‍රධාන ඉලක්කය වන පාඨළීට පහරදී රාජපක්ෂවරුන්ගේ හිත දිනාගෙන සියලු වරප්‍රසාද සහිතව ඉතුරු අවුරුදු 04 ගමන් කිරීම.අනෙක් කරුණ නම් පාඨළී වැන්නෙකු දුර්වල කර 2024 ජනාධිපති අපේක්ෂකයා විමේ අවස්ථාව නැවත සජිත්ට ලබාදීමයි.

මෙම විමල්ගේ උපක්‍රමය කොතෙක් දුරට පාඨළී තේරුම්ගෙන ඇති දැයි අප දන්නේ නැත.නමුත් මෙම උපක්‍රමය බැසිල් තේරුම් ගෙන ඇති බව අපගේ විශ්වාසයයි.

ඒ වෙනුවෙන් විමල්ටත් නොතේරී විමල් මෙහේ වන්නේ බැසිල් විය හැකිය.මන්ද විමල්ගේ මෙම ක්‍රියා මාර්ගය බැසිල්ගේ දේශපාලන සිතියමට හතුරු නොවන නිසාය.

විමල්ට බැසිල් ගැන එවැනිම තක්සේරුවක් ඇතැයි අප නොසිතමි.

එම නිසා විමල් ගැන නොදන්නා අයට විමල් ගැන තේරුම් ගැනීමට කළ යුතු හොදමදේ වන්නේ විමල් දෙස හොඳ සිහිබුද්ධියෙන් මද වේලාවක් බලා සිටීම පමණි.

ප්‍රියන්ජිත් විතාරණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *