නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී පරාජය කිරීමට ට්‍රම්ප්ට හැකිවේද?

 නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ දෝෂාභියෝගය සෙනෙට් මණ්ඩලයේදී පරාජය කිරීමට ට්‍රම්ප්ට හැකිවේද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව එරට කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය.

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාවට පක්ෂව 232ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 197ක් ලැබිණි.

ඊට අමතරව ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් 10දෙනකුද;

ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර විශේෂත්වයක් ලෙස දක්නට ලැබිණි.

ඇමෙරිකානු ජනාධිපතිවරයකු එරෙහිව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී දෝෂාභියෝග යෝජනාවක් අවස්ථා දෙකකදී සම්මත වූ ඇමෙරිකානු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග චෝදනාව ඇමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත විය.

මේ අනුව සෙනට් මණ්ඩලයේදී දෝෂාභියෝග චෝදනාව සම්බන්ධයෙන් විභාගයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වේ.

කෙසේ නමුත් සෙනට් මණ්ඩලයේ ක්‍රියාවලිය තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සිදුවනු ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප් ධුරයෙන් නික්මුණු පසු වුවත් සෙනට් මණ්ඩලයේ දෝෂාභියෝග චෝදනා විභාගය සිදුවනු ඇති අතර;

එහිදි එය සම්මත වුවහොත් ඔහුට නැවත වරක් ජනාධිපති ධුරයක් සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇත.

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට හේතු වූයේ ට්‍රම්ප් ඊට ටික වේලාවකට පෙර කළ කතාව යැයි චෝදනා එල්ල විය.

ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන පිරිස් ඉකුත් ජනවාරි 6 වැනිදා කොංග්‍රස් රැස්වීම පැවැත්වෙමින් තිබියදී කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදුණහ.

කලහකාරී පිරිස් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවැදීමට පෙර ට්‍රම්ප් ඔවුන් ඇමතූ අතර ඒ දෙසට පාගමනේ යමු යැයි ට්‍රම්ප් එම පිරිස් උසිගැන්වීය.

එම කතාව ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග යෝජනාවට මුල් වූ අතර ‘‘කැරැලි ගැසීමට පෙළඹවීම’’ ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාවයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොංග්‍රසය මණ්ඩල දෙකකින් සමන්විත අතර ඉහළ මන්ත්‍රී මණ්ඩලය සෙනට් මණ්ඩලය වන අතර පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් වේ.

මේ වනවිට සෙනට් මණ්ඩලයේ බලය ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සතුවය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂය සතුවය.

තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සෙනට් මණ්ඩලයේ තත්ත්වය වෙනස් වේ.

ඉකුත් වසරේ පැවැති ජනාධිපතිවරණයට සමගාමීව මෙම මණ්ඩල දෙකට සාමාජිකයන් තෝරා පත් කරගැනීම ද සිදුකෙරුණි.

එහිදි සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව පක්ෂ දෙක අතර සමසේ බෙදී ගියේය.

සෙනට් මණ්ඩලයේ දී දෝෂාභියෝගය සම්මත වීමට නම් තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එම ඡන්ද ගණන 67කි.

සෙනට් මණ්ඩලයේ ආසන සංඛ්‍යාව සියයකි.

එහි තීරණාත්මක ඡන්දය හිමි සෙනට් මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ, එරට මීළඟ උප ජනාධිපතිවරයා ද වන කමලා හැරිස් ය.

දැනට ඇති තත්ත්වය මත සෙනට් මණ්ඩලයේ පැවැති ඡන්ද විමසීමේදී දෝෂාභියෝගය සම්මත වීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ සෙනට් සභිකයන් 17 දෙනකු ඊට පක්ෂව ඡන්ද දිය යුතු ය.

මීට පෙර ඇමෙරිකාවේ කිසිදු ජනාධිපතිවරයකු දෝෂාභියෝග ඡන්ද විමසීමකින් බලයෙන් පහ කර නැත.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව 2019 වසරේදීත් බිල් ක්ලින්ටන්ට එරෙහිව 1998 වසරේදීත් ඇන්ඩෘ ජොන්සන්ට එරෙහිව 1868 වසරේදීත් දෝෂාභියෝග යෝජනා ඉදිරිපත් විය.

ඒ තුනම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වූ නමුත් එම දෝෂාභියෝග යෝජනා තුනම සෙනට් මණ්ඩලයේ දී පරාජයට පත්විය.

ඒ අනුව එම අවස්ථා තුනේදීම එකී ජනාධිපතිවරුන් තිදෙනා දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *