නිව්යෝක් එන්නත් වංචාවලට ඩො. මිලියනය දක්වා දඩයක්

 නිව්යෝක් එන්නත් වංචාවලට ඩො. මිලියනය දක්වා දඩයක්

එක්සත් ජනපදයේ, නිව්යෝක් නගරයේ සිදුව ඇතැයි කියන එන්නත් වංචාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ආණ්ඩුකාරවරයා විධායක නියෝගයකට අත්සන් කර තිබේ.

නිව්යෝක් ආණ්ඩුකාර ඇන්ඩෘ කියෝමෝ සඳුදා විධායක නියෝගයකට අත්සන් කළ අතර, ඒ අනුව ඇ. ඩොලර් මිලියනයක් දක්වා දඩයක් මෙන්ම, වංචාව සහ කොවිඩ් -19 එන්නත සම්බන්ධයෙන් දැනුවත්ව නීතිය කඩ කරන අයගේ බලපත්‍ර අවලංගු කිරීමක්ද සිදුවනු ඇත.

මෙම නියෝගයට වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් හෝ බලපත්‍රලාභී සෞඛ්‍ය සේවා වෘත්තිකයන් ඇතුළත් වේ.

“එන්නත ඉතා වටිනා වෙළෙඳ භාණ්ඩයක් වන අතර, එන්නත අවශ්‍ය බොහෝ පුද්ගලයින් සිටිනවා. මේ නිසා එන්නත ලබා ගැනීමේ ක්‍රියාවලියේදී වංචාවක් සිදු නොකළ යුතුයි” යැයි කියෝමෝ පැවසීය. “එන්නත් ලබාගැනීම ප්‍රමුඛතාවයක්. නමුත්, එන්නතක් ලබා ගන්නේ කාටද යන්න පිළිබඳ කිසිදු දේශපාලනයක් තිබිය යුතු නැහැ. එන්නත් කිරීමේ ක්‍රියාවලියේ කිසිදු වංචාවක් අපි ඉවසන්නේ නැහැ.”

කියුමෝ පැවසුවේ තම කාර්යාලය මේ වනවිටත් වංචා කළ එක් සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවයි. සමාගමේ නම සඳහන් නොකළ ආණ්ඩුකාරවරයා පැවසුවේ නිව්යෝක් ප්‍රාන්ත පොලිසිය කරුණු සමාලෝචනය කර, එය නිව්යෝක් නීතිපති කාර්යාලයට යොමු කර ඇති බවයි.

එන්නත් ලබාගැනීමේදී අධික මුදලක් ලබාදෙමින් එන්නත් තම හිතවතුන්ට ලබාදීම, තම සේවාදායකයන්ට ලබාදීම, දේශපාලන බලපෑම් මගින් ලබාගැනීම මෙන්ම, එය කළුකඩයේ විකිණීම සම්බන්ධයෙන් මෙම තීරණ ක්‍රියාත්මක වෙමින් පවතින බව කියැවෙයි. එක්සත් ජනපදයේද තත්ත්වය මෙසේ නම්, මෙවැනි එන්නතක් වංචාව හා දූෂණය ඉහවහා ගිය රටක කෙසේ නම් බෙදාහැරෙනු ඇතැයිද යන්න තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *