Z අගය ගැන උසස් පෙළ සිසුන් පිරිසක් අධිකරණයට

 Z අගය ගැන උසස් පෙළ සිසුන් පිරිසක් අධිකරණයට

අ.පො.ස. (උ.පෙළ) විභාගයට 2019 වර්ෂයේ පෙනී සිට සමත්වූ තමන් භෞතිකවිද්‍යා සහ ඉංජිනේරු පාඨමාලා හැදෑරීමට රජයේ විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේදී බලවත් අසාධාරණයක් වුණැයි කියමින් සිසුන් විශාල පිරිසක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත සහ නීතිපති ඇතුළු 25ක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

වගඋත්තරකරුවන් සියලුදෙනාම උසාවි කැඳවා පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වන ලෙසත්, එතෙක් භෞතික විද්‍යා සහ ඉංජිනේරු පාඨමාලා හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට සිසුන් තෝරා ගැනීම සහ ඇතුළත් කර ගැනීම ව ක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසටත් පෙත්සමෙන් ඉල්ලා ඇත.

කිරිබත්කුඹුර කෙහෙල්වල පදිංචි ටී. දෙශාන් දිසානායක, අනුරාධපුර තිසාවැව – තිෂාල් සෝමරත්න ඇතුළු හතළිස් දෙදෙනකුගේ නමින් පෙත්සම ගොනුකර තිබිණි.

පෙත්සමේ සඳහන් කර ඇති අන්දමට මේ සියලුදෙනාම අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ 2017 වර්ෂයේ ක්‍රියාවට නැගූ නව නිර්දේශයන් යටතේ අධ්‍යාපනය හැදෑරීමටයි.

නව හා පැරණි නිර්දේශයන් යන දෙවර්ගය යටතේම සිසුන් විභාගයට පෙනී සිට ඇති නමුත් පෙත්සම්කරුවන් කියා සිටින්නේ නව නිර්දේශයන් යටතේ විභාගය කළ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බවයි.

දෙපාර්ශ්වයට දී තිබූ කඩඉම් Z -Score ලකුණු අතර විශාල පරතරයක් පෙනෙන්නට තිබෙන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

නව නිර්දේශ යටතේ අධ්‍යාපනය ලැබූ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ.පෙරේරා මහතා ‘‘සතිඅග අරුණ’’ සමග මෑතකදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පිිළිගත් නමුත්, ඔහු එය නිවැරදි කිරීමට කිසිදු උත්සාහයක් නොගත් බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Hansani Chathurani

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *