‘KN 95 මාස්ක්’ දාන පුද්ගලයන්ගෙන් පරෙස්සම් වෙන්න

 ‘KN 95 මාස්ක්’ දාන පුද්ගලයන්ගෙන් පරෙස්සම් වෙන්න

ඉස්සර මාක්ස් ගැන වැඩියෙන් කතා කළේ සම සමාජකාරයන් හෝ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන රතු කමිස කාරයන්ය. එහෙත් දැන් මුළු ලංකාවම කතා කරන්නේ මාස්ක් ගැනය. මාක්ස් වෙනුවට මාස්ක් කරළියට ආවේ කොරෝනාවත් සමගය. මාක්ස් ගැන කතා කළ සම සමාජකාරයන්ම පමණක් නොව මුළු රටුන් සියලු දෙනාට දැන් මාස්ක් අනිවාර්ය අංගයක් වී තිබේ.

අද වන විට සුපිරි වෙළඳසලේ, සිල්ලර බඩු කඩේ, තොග කඩේ සහ පාරේ තොටේ බුලත් විට කඩේ දකින්නට ලැබෙන අලුත්ම වෙළෙඳ භාණ්ඩය වන්නේ මාස්ක්ය. මේවා විවිධ වූ මිල ගණන්වලට විවිධ වූ ආකාරයෙන් මිලදී ගැනීමට තිබෙන්නේය. ඒ අතර ශල්‍ය මුහුණු ආවරණ, N 95 මුහුණු ආවරණ, රෙදි මුහුණු ආවරණ ලෙස නානා ප්‍රකාරයේ මාස්ක් ඇත්තේය. මාස්ක් පැලඳීම නිරෝධායන රෙගුලාසි අනුව දැන් අනිවාර්ය කර තිබේ.

මුහුණු ආවරණ නොමැතිව ගමන් කළ පුද්ගලයන් පන්සීය විසිහතක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ පසුගිය ඔක්තෝබර් තිස් වැනිදා සිට මේ දක්වා සිදුකළ වැටලීම්වලට අනුවයි. දැන් දැන් මාස්ක් පලඳින්නේ කොරෝනාවෙන් බේරෙන්න පමණක් නොවේ.

වෙනදා වත්ත පිටිය තණකොළ මැෂිමෙන් කපන විට ගල් පස් විසිවේයැයි සිතා මුහුණ ආවරණය කිරීමට රෙදි කෑල්ලක් බැන්දෝය. අද ඒ රෙදි කෑල්ල වෙනුවට යොදා ගන්නේ ‘මාස්ක්’ ය. ගෙදර දොර පිරිසුදු කරන විටත් මකුළු දැල් කඩන විටත් අද දුහුවිලි මුහුණට නොවැදීමට පාවිච්චි කරන්නේ ‘මාස්ක්’ එකකි. ඒ වගේම අප හඳුනන අයෙකුගේ මවක් පසුගියදා කරවල තෙලෙන් බැද තිබුණේද මුහුණු ආවරණ යොදා ගෙනය. ඒ පිළිබඳව ඔහු මවගෙන් ඇසු විට ඇය පවසා තිබුණේ ‘කරවල බදිනකොට දුම එනවා. එතකොට කොහෙවත් නැති කැස්සකුත් එනවා. ඒ නිසා ‘මාස්ක්’ එක දාගෙන බැද්දා.’ කියාය.

ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වූ පෙබරවාරි මාසයේදීවත්, පළමු කොවිඩ් රැල්ල හැමූ මාර්තු මාසයෙදීවත් අපට මුහුණු ආවරණ අත්‍යවශ්‍ය මොහොතක් වනතුරු භාවිත නොකරන්නැයි වෛද්‍යවරු ඉල්ලීමක් කළෝය. එහෙත් අද දෙවැනි රැල්ලේ ආරම්භයත් සමග මුහුණු ආවරණ යනු අත්‍යවශ්‍ය අංගයක් වී ඇත්තේය. ඒ සමග තවත් ප්‍රශ්නයක් උද්ගත වූවේය. වෙනදා පාර පුරා විසිකර තිබුණේ ප්ලාස්ටික්, හිස් වතුර බෝතල්ය. දැන් මාස්ක්ය. පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කර තිබුණේ දිනකට මුහුණු ආවරණ මිලියන හයක් පරිසරයට එකතුවන බවයි. මේ මුහුණු ආවරණ අතර ශල්‍ය මුහුණු ආවරණ මිලියන පහක් සහ KN 95 කාණ්ඩයේ මුහුණු ආවරණ මිලියනයක් තිබුණි. කෙසේවෙතත් මේ ආකාරයට පරිසරයට මුදා හරින මුහුණු ආවරණ නිසා විශාල පරිසර හානියක් අත ළඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කළමනාකාර ටර්නි ප්‍රදීප් කුමාර කීවේය.

මෙලෙස පරිසරයට බැහැර කරන මුහුණු ආවරණ. අන්තිමේ දී ගොඩගසන්නේ මුහුදු වෙරළටය.

‘‘මේ විදිහට පාරේ, කානුවල තැන තැන දාලා තියන මුහුණු ආවරණ නිසා ජලජ ජීවීන් වගේම පක්ෂීනුත් විශාල අපහසුතාවකට පත්වෙනවා. පක්ෂීන් මුහුදේ මාළුවෙක් අල්ල ගන්න ගියාම මුලින්ම උන්ගේ හොටේ පැටලෙන්නේ මේ විදිහට මිනිස්සු විසිකරලා තියන මුහුණු ආවරණයි. අනික මුහුදු ශාක, මුහුද දෙපැත්තේ තියෙන ගස් මේ නිසා විශාල හානියකට ලක්වෙනවා.’’

මේ දිනවල පවතින අධික වැසි සහිත තත්ත්වය නිසා කානුවලට විසිකරන මුහුණු ආවරණ ගංගා ඇළදොළවලට මිශ්‍ර වෙලා ඒ හරහා ජලයට ‘කොවිඩ් 19’ වයිරසය මුසුවීමේ අවදානමක් තිබෙන බවත් පරිසර අමාත්‍යවරයා පවසා තිබිණි.

ඉක්වදෝරයේ ගංගාවක ජල සාම්පල සියයකට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කර තිබූ අතර එම ජාල සාම්පල සියල්ලේම ‘කොවිඩ් 19’ වයිරසය තිබූ බවට තහවුරු විය. මිනිසුන් මේ ආකාරයට බැහැර කරන මුහුණු ආවරණ නිසා තල්මසුන්, සීල් මත්සයින් වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සමුද්‍ර ක්ෂීරපායින්ට ‘කොවිඩ් -19’ වයිරසය ආසාදනය විය හැකි බව කැනඩාවේ මහජන පර්‌යේෂණ විශ්වවිද්‍යාලයක් වන ඩල්හවුසි විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් පිරිසක් විසින් සොයා ගෙන තිබිණි.
නමුත්, තවමත් ලංකාවේ එවැනි තත්ත්වයක් පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කළමනාකාර ටර්නි ප්‍රදීප් කුමාර කීවේය.

මේ අතර වැඩිම ජනගහනයක් වෙසෙන කොළඹ නගරයටද අද සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ‘ සිදුවීමකට මුහුණ දීමටය. එනම්, එක් අතකින් කොරෝනා අවදානමත් තවත් අතකින් කොළඹ ජනයාගේ කුසගිනි නිවීමටත් අමතරව තවත් හෙනහුරෙකු පසුගියදා නොසිතු මොහොතක කොළඹ නගර සභාවට කඩා පත්වුණි. මේ අලුත්ම හෙනහුරා වන්නේ ගංවතුර අවදානමයි. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව නිසා කොළඹ නගරේ ඇති කානු පද්ධතිය සහ මලාපවහන පද්ධතිය දැඩිසේ අවහිර වී තිබිණි. මෙම අවහිරයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මුහුණු ආවරණ බව කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනි දිසානායක කීවාය.

අපේම ආරක්ෂාවට භාවිත කරන මුහුණු ආවරණ අද අපේ නගරයේ ආරක්ෂාවටම තර්ජනයක් වී ඇති බවත් මේවා එකතු කරන නගර සභා සේවකයන්ද එමනිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති බවත් ඇය කීවාය.

මුහුණු ආවරණ නිසා පවිත්‍රතා සේවකයන්ට කොවිඩ් 19 වයිරසය වැලඳුනොත් මුළු කොළඹම ඉවරයි. කොළඹ අතුගාන්නේ ඔවුන්ය. ගෙවල්වලින් කුණු ඉවත් කරන්නේ ඔවුන්ය. හදිසියේවත් ඔවුන් නිරෝධායනය කරන්නට සිදු වුවහොත් කොළඹ නගරවැසියන්ට සිද්ධ වන්නේ ගඳ ගසමින් සිටීමටය.

රේගුව කියන විදියට ලංකාවට ශල්‍ය මුහුණු ආවරණ පමණක් (HS 630790) ටොන් හාරසිය අනු එකක් ආනයනය කර තිබේ. මේවා ගෙන්වා ඇත්තේ 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඇති කාල පරාසය තුළයි. ඒත් 2019 වසරේදී මෙරටට ශල්‍ය මුහුණු ආවරණ ගෙන්වා ඇත්තේ ටොන් තිස් දෙකක් පමණි. එමෙන්ම, ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී පමණක් ශල්‍ය මුහුණු ආවරණ දාහතර කෝටි හතලිස් පන්ලක්ෂය ඉක්මවා අලෙවි වී ඇත. මෙය 2019 වසරේ ගෙනා මුහුණු ආවරණ අනූපන් ලක්ෂයට වඩා පහළොස් ගුණයක වැඩිවීමකි. මුහුණු ආවරණ ආනයනය කරන දේශීය ආනයනකරුවෝ පන්සීය හතළිහක් පමණ සිටිති. ඔවුහු චීනය, වියට්නාමය, ඉන්දියාව, හොංකොං, බංග්ලාදේශය, සිංගප්පුරුව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, ස්විට්සර්ලන්තය සහ තායිවානය යන රටවලින්ද මුහුණු ආවරණ ආනයනය කරති.

නමුත්, මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආනයනය කරනු ලබන සියලුම වර්ගයේ මුහුණු ආවරණ ගෙන්වීමට තිබූ බලපත්‍ර තවකාලිකව තහනම් කර තිබේ.
මේ ආකාරයට මුහුණු ආවරණ ගෙන්වීම තහනම් කර ඇත්තේ රට තුළම ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරිකයන් පෙලඹවීමටය. ලංකාවට දිනකට මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ අවශ්‍යව ඇත්තේය. ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශල්‍ය මුහුණු ආවරණවලට අමතරව KN 95 වර්ගයේ මුහුණු ආවරණ ද රට තුළ නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. ඒත් තවමත් මුහුණු ආවරණවලට නිසි ප්‍රමිතියක් ඇත්තේ නැත. පාලන මිලකට යටත්ව මිලදී ගැනීමට තරම් මුහුණු ආවරණ ද නැත්තේය. කොළඹින් රුපියල් පනහට ගත් ශල්‍ය මුහුණු ආවරණය ගාල්ලට යන විට රුපියල් අසුවක් ද වන්නේය. එළවළු කඩේද, මාළු කඩේද, තොග කඩේද, පාරේ ලොතරැයි කුඩුවේද, පේමන්ට් එකේද මෙලෙස එකීමෙකී නොකී සෑම තැනකම මුහුණු ආවරණ අලෙවි කරති. සමහරු පාරේ බිම එලාගෙනත්, තවත් සමහරු කඩේ මුල්ලක තියාගෙනත් මේවා අලෙවි කරති. එබැවින් මේවාට ඇති ප්‍රමිතිය පිළිබඳව අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සිද්ධිකා සේනාරත්නගෙන් විමසුවෙමු.

‘‘අපි මේ මුහුණු ආවරණවල ප්‍රමිතිය ගැන බොහෝ අවස්ථාවල කතා කරලා තියනවා. ඒත් මුහුණු ආවරණවලට නිසි ප්‍රමිතිය මොකක්ද කියලා තවමත් අනිවාර්ය කරලා නැහැ. ඒත් අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හැටියට එස්.එල්.එස්. සහතිකය ලබා දීලා තියෙන්නේ තවමත් ශ්‍රී ලංකික ආයතන දෙකකට විතරයි. ඒ එකක් රාජ්‍ය ආයතනයක්, අනිත් එක පෞද්ගලික ආයතනයක්. මේවටත් අපි සහතිකය දුන්නේ දහ පාරකටත් වඩා මේ දේවල් ගැන හොඳට හොයලා බලලයි. අනික අපිට ආපු ගොඩක් දේශීය නිෂ්පාදකයන්ගේ මුහුණු ආවරණ නිසි ප්‍රමිතියට තිබ්බේ නැහැ. ඒ නිසා බොහෝදෙනෙක්ගේ මුහුණු ආවරණ අපිට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. ”
අපි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ කියන හැටියට තවමත් මුහුණු ආවරණ සඳහා පාලන මිලක් නැත. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත් නව පාලන මිල බොහෝදුරට ලබන සතිය ඇතුළත පැමිණීමට ඉඩකඩ ඇති බවත් ඔහු කිවේය.
‘‘අපි දැනට ලංකාවේ නිෂ්පාදකයෝ විසි දෙනෙක්ට ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න අවසර දීලා තියනවා. ඒ වගේම KN 95 වර්ගයේ මුහුණු ආවරණ නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෝ දෙදෙනෙක්ටත් අවසර ලබාදීලත් තිබුණා. ඒත් තවමත් අපි මුහුණු ආවරණ සඳහා පාලන මිලක් ලබා දීමට කටයුතු කරමින් යන්නේ. ඒකට වර්තමානයේදී තාක්ෂණික සහ සැකසුම් ගැටලු කිහිපයක් තියනවා. ඒවා නිරාකරණය කරගෙන අපි ඉදිරි කාලයේදී මිනිසුන්ට දැරිය හැකි මුදලකට මුහුණු ආවරණ ලබා ගන්න පුළුවන් වෙළඳපොළක් නිර්මාණය කරනවා.”

කෙසේ නමුදු මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාල සේවකයන් දක්වා බොහෝ පිරිසකගේ තේරීම වී ඇත්තේ KN 95 වර්ගයේ මාස්ක්ය. එය පැලඳ සිටියොත් තමන්ට කොරෝනා නොවැලඳෙතැයි ඔවුහු සිතති.

එහෙත් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කියන්නේ සමාජයේදී KN 95, N 95 වැනි මුහුණු ආවරණයන් භාවිත නොකරන ලෙසය. එම ආවරණ අවශ්‍ය වන්නේ රෝගී සත්කාරයේ යෙදෙන විට පමණක් බව ඇය පැහැදිලි කළාය.

‘‘මුහුණු ආවරණයක් කියන්නේ අපෙන් වයිරසය පිටතට නොයන්නත් අපිට වයිරසය ආසාදනය නොවීමටත් භාවිත කරන ආරක්ෂිත උපාංගයක්. මේ උපාංගය නළලෙයි, බෙල්ලෙයි, ඔළුවෙයි සහ අතෙයි නැතුව නාසය සහ මුව හොඳින් වැසෙන සේ පලඳින්න ඕනේ. ඒ වගේම ශල්‍ය මුහුණු ආවරණ පැලඳිය යුත්තේ දවසක් පමණයි. එය නැවත නැවතත් හෝදලා පලඳින එක අනුමත කරන්නෙ නැහැ. අපි ශල්‍ය මුහුණු ආවරණයක් පැලඳිය යුතු කාලය පැය පහක් හෝ හයක් අතර කාලයකදී පමණයි. අනික මුහුණු ආවරණයක් තවකාලිකව ඉවත් කරනකොට මුහුණු ආවරණයේ ඇතුළු පැත්ත පිටතට විවර වන ලෙස දෙකට නවා කඩදාසිවලින් නිර්මාණය කර ඇති බෑගයක දමා අවශ්‍ය වූ විට පැලඳිය හැකියි. නමුත්, සම්පුර්ණයෙන් ඉවත් කරන කොට මූඩිය සහිත කසළ බඳුනකට දැමිය යුතුයි. ඒක අපිට වගේම අන් අයගේ සෞඛ්‍යයටත් ඉතාමත් හොඳ ආරක්ෂිත ක්‍රමවේදයක්.

‘‘දැන් ගොඩක් කට්ටිය විලාසිතාවකට වගේ රවුම් පෙරණය ති​ෙයන KN 95 කියන මුහුණු ආවරණ පලඳින්න උත්සහ කරනවා. ඒ මුහුණු ආවරණවලින් අපිට ආරක්ෂාවක් සැලසුණාට අපෙන් අනෙක් අයට වෙන්නේ හොඳක් නම් නෙවෙයි. අපෙන් පිටවෙන වාතයෙන් සියුම් ක්ෂුද්‍ර ජීව අංශු පිටත වාතයට එකතු වෙන්න පුළුවන්. එතකොට අපිට වයිරසය ආසාදනය වෙලා තිබුණොත් අනෙක් අයට ඔබ මුහුණු ආවරණ පැලඳි සිටියත් බෝ වෙන්න පුළුවන්. අපි කියන්න ඕනේ කොයි වේලාවක හරි එහෙම මාස්ක් එකක් දාගෙන කෙනෙක් හිටියොත් ඔහු ගාවටවත් යන්න එපා. මොකද ඔහුට කොවිඩ් වයිරසය තිබුණොත් ඒ පෙරණය තුළින් ක්ෂුද්‍ර ජීවි අංශු පිටතට ඇවිල්ලා ඔබටත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්.”

ඒ විතරක් නොව අද වනවිට අලුත් මුහුණු ආවරණයක් ලංකාව කලඹවමින් සිටින්නේය. එහි නාමය ලෙස බොහෝදෙනෙක් පවසන්නේ N 95 මෙඩිකල්‘ මාස්ක් කියාය. මෙය රුපියල් හත්සිය පනහක් පමණ මුදලකට මිලදී ගැනීමට ඇති බවත් වාර්තාවේ. නමුත්, මේ පිළිබඳව වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවේ, මෙම මුහුණු ආවරණ ලෝකයේම ඇත්තේ සීමිත ප්‍රමාණයක් බවයි. ඒවාද භාවිත කරන්නේ වසංගත රෝගයකට ගොදුරු වූ අයෙක්ව ශල්‍යකර්මයකට ලක් කිරීමේදී හෝ විශේෂ අවස්ථාවල, ඔහුගෙන් පිටවන වායු අංශුවල ඇති විෂබීජ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ඇතුළු නොවීමටයි. මෙම මුහුණු ආවරණය නාසය සහ මුව සම්පුර්ණයෙන්ම ආවරණය වන වෛද්‍ය මුහුණු ආවරණයකි.

නමුත්, සාමාන්‍ය ජනතාව මේ කියන්නා වූ .මෙඩිකල් මාස්ක් හෝ KN 95 හෝ N 95 යන මුහුණු ආවරණ බාහිර සමාජයේදී පැලඳීමට අවශ්‍ය නොවන බව ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍ය මධුමනි අබේවර්ධන කීවාය. මේ අවස්ථාවේදී කොවිඩ් 19‘ වයිරසය ආසාදනය නොවී සිටීමට නම් කළ යුත්තේ ශල්‍ය මුහුණු ආවරණ භාවිත කිරීම මෙන්ම අනිවාර්යයෙන්ම නිතර දෑත් පිරිසුදු කිරීම හා සමාජ දුරස්ථභාවයයි.

උපුටා ගැනීම අරුණ වෙබ් නිව්ස්

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *