මහනායක හිමියන්ගේ ආදාහන පූජ්‍යෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ හෙට..

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහනායක, අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (නොවැම්බර් 22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
කලක් රෝගාතුරව සිට පසුගියදා අපවත්වී වදාළ අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ පිරිසක් අදත් (21) මහනුවර හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහාවිහාරය වෙත පැමිණ සිටියහ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මහනායක හිමියන්ගේ ශ්‍රී දේහයට අද අවසන් ගෞරව දැක්වීය.
මේ අතර, උන්වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරයට නායක ස්වාමීන්වහන්සේ නමක් පත්කර ගැනීම ද හෙට පෙරවරුවේ සිදුකෙරෙනු ඇත.